සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

අයදුම්කිරිම
















තවමත් ඔබ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියෙකු නොවේ නම් ක්‍රෙඩිට් කාඩ් පතක් අයදුම් කිරීමට ඔබට ප්‍රධාන ක්‍රම තුනක් ඇත. ඒ පහත පරිදිය. 

  1. ඔබ නියැලී සිටින රැකියාවේ වැටුප් ආදායම (salary income) මත අයදුම් කිරීම
  2. ඔබ නියැලී සිටින ව්‍යාපාරයේ ආදායම (business income) මත අයදුම් කිරීම
  3. ඔබගේ තැන්පතු (deposits) මත අයදුම් කිරීම
තේරුම් ගැනීමේ පහසුව පිණිස මෙම ක්‍රමවේදයන් එකින් එක වෙන වෙනම තේරුම් ගනිමු.



ඔබ නියැලී සිටින රැකියාවේ වැටුප් ආදායම (salary income) මත අයදුම් කිරීම

මෙහිදී බැංකු විසින් ප්‍රධාන වශයෙන් සළකා බලන්නේ ඔබ ඔබගේ රැකියාව තුළින් මාසිකව උපයන  ශුද්ධ වැටුපයි (Net Salary). ඔබගේ දළ වැටුපට (Basic Salary) ඔබගේ අතිරේක දීමනා (Allowances) එකතු කර අනෙකුත් අය කර ගැනීම් (Deductions) අඩු කළ පසු  ලැබෙන පිළිතුර ශුද්ධ වැටුප ලෙස බැංකු විසින් සාමාන්‍යයෙන් සළකනු ලැබේ. 

ඔබගේ රැකියාව තුළින් මාසිකව උපයන ශුද්ධ වැටුප, කිසිදු වෙනසකින් තොරව ඔබට මාසිකව හිමිවන ආදායම ලෙස බැංකු විසින් බොහෝවිට උපකල්පනය කරනු ලැබේ. 

ඔබට ලබා දෙන ක්‍රෙඩිට් කාඩ්පතෙහි මාසික ණය වාරිකය බැංකුව වෙත යළි ගෙවීමට ඔබට ඇති හැකියාව, බැංකුව විසින් මැන බලන්නේ ඔබගේ මෙම ශුද්ධ වැටුප මතයි.

එහිදී ශුද්ධ වැටුප සාපේක්ෂව අඩු අගයක් ගනී නම් අඩු ණය සීමාවකින් (Credit Limit) යුතු ක්‍රෙඩිට් කාඩ්පතක් ද, ශුද්ධ වැටුප සාපේක්ෂව වැඩි අගයක් ගනී නම් වැඩි ණය සීමාවකින් යුතු ක්‍රෙඩිට් කාඩ්පතක් ද, බැංකුව විසින් ලබා දෙනු ඇත. 

එහෙත් එය එසේම විය යුතුයැයි මුල් බැසගත් නීතියක් නැත. බැංකු කළමනාකාරිත්වයේ තීරණ මත ණය සිමාව වෙනස් විය හැක. අයදුම්කරු වෙත ක්‍රෙඩිට් කාඩ්පතක ස්වරූපයෙන් ලබා දෙන ණය මුදල ආපසු අය කර ගැනීමේ වගකීම / අවදානම (Risk) දැරීමට බැංකුව සුදානම් නම් බැංකු කළමනාකාරිත්වය වැඩි ණය  සීමාවක් සහිත ක්‍රෙඩිට් කාඩ්පතක් නිකුත් කරනු ඇත. තීරණය බැංකුව සතුය.


එහෙත් මතක තබා ගන්න. ඉහල ණය සීමාවක් යනු ඔබට ලැබුණු වටිනා තිළිණයක් නොවේ. ඔබට එය ගෙවා ගැනීමට නොහැකි වුවහොත් එය බැංකුවට මෙන්ම ඔබටද ඉහළ අවදානමකි. අඩු ණය සිමාවක් නිරන්තරයෙන් ඔබගේ වියදම් සිමා කරයි. එහිදී බැංකුවට මෙන්ම ඔබටද ඇත්තේ අඩු අවදානමකි 


ඇතැම් බැංකු, ලබා දෙන ණය සීමාව ශුද්ධ වැටුප මත තීරණය නොකරයි. ඔවුන් සැලකිල්ලට ගන්නේ දල වැටුපයි. වෙනත් දීමනා හා අඩු කිරීම් මාසයෙන් මාසයට වෙනස් විය හැකි නිසා එහිදී ස්ථාවර අගයකින් යුතු දළ වැටුප මත, ලබා දෙන ක්‍රෙඩිට් කාඩ්පතේ ණය සිමාව තීරණය කරනු ලැබේ.

රැකියාවේ වැටුප මත ණය සීමාව තීරණය කිරීමේදී තවත් අතිරේක සාධක බැංකු කළමනාකාරිත්වය මඟින් සැලකිල්ලට ගනු ලැබේ. 

නිදසුනක් ලෙස ඔබ ස්ථිර රැකියාවක නියුතු නම් ඉහළ ණය සීමාවක් අපේක්ෂා කළ හැක. 

කොන්ත්‍රාත් පදනම වැනි රැකියාව ස්ථිර නොමැති අවස්ථාවලදී පහල ණය සීමාවක් හිමි විය හැක. ඇතැම් විට ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්පත ප්‍රතික්ෂේප විය හැක.

එසේම ඔබගේ රැකියාවට වත්මන් සමාජයේ  වැඩි පිළිගැනීමක් පවතීනම් ඉහළ ණය සීමාවක් අපේක්ෂා කළ හැක. 

රැකියාවට ඇති පිළිගැනීම අඩු නම් පහල ණය සීමාවක් හිමි විය හැක. ඇතැම් විට ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්පත ප්‍රතික්ෂේප විය හැක.

එහෙත් මේ කිසිවක් න්‍යායාත්මකව පිළිපැදීමක් බැංකු සිදු නොකරයි. අවසන් තීරණය බැංකුව සතුය. 

එක් එක් බැංකුවල ප්‍රතිපත්ති අනුව වෙනස් වුවත් ඔබට හිමි විය හැකි ක්‍රෙඩිට් කාඩ්පත් ණය සීමාව පිළිබඳව දළ අදහසක් ලබා ගැනීමට ඔබ නියැලී සිටින රැකියාවේ වැටුප් ආදායම (salary income) මත ඔබට හිමිවන ක්‍රෙඩිට් කාඩ්පත් ණය සීමාව excel sheet එකක නිකමට වගේ හදල බලමු ද 


ඔබ නියැලී සිටින රැකියාවේ වැටුප් ආදායම (salary income) මත අයදුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි 

01. නිසි ලෙස සම්පූර් ණ කොට අත්සන් යෙදු ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්පත්‍රය (duly completed and properly signed credit card application)

02. අයදුම්කරුගේ අනන්‍යතාවය තහවුරු කර ගත හැකි ලියකියවිලි

(නිදසුන්: පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර් තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පතේ National Identity Card සත්‍ය පිටපතක් True Copy ලෙස සහතික කල පිටපතක්)

03. අයදුම්කරුගේ ස්ථිර ලිපිනය (permanent address) තහවුරු කර ගත හැකි ලියකියවිලි

(නිදසුන්: අයදුම්කරුගේ නමින් ලැබෙන විදුලි බිල්පත්)

04. අයදුම්කරුගේ මාසික අදායම (monthly income) තහවුරු කර ගත හැකි ලියකියවිලි

(නිදසුන්: අයදුම්කරුගේ නමින් ලැබෙන මාසික වැටුප් වාර් තා)

05. අයදුම්කරුගේ රැකියාවේ ස්ථිරභාවය තහවුරු කර ගත හැකි ලියකියවිලි

(නිදසුන්: අයදුම්කරු සේවයේ නියුතු යැයි සැලකෙන ආයතනයේ මානව සම්පත් දෙපාර්තමේන්තුව human resources department විසින් හෝ ආයතන ප්‍රධානි විසින් අයදුම්කරු ස්ථිර සේවකයෙකු බවට සනාථ කෙරෙන ලියකියවිලි. [සේවා සහතිකය])

06. ඔබගේ බැංකුව විසින් ඉල්ලා සිටින වෙනත් අතිරේක ලියවිලි supportive documents


ඔබ නියැලී සිටින ව්‍යාපාරයේ ආදායම (business income) මත අයදුම් කිරීම

රැකියාවක මාසික වැටුප මත ක්‍රෙඩිට් කාඩ් පතක ණය සීමාව තීරණය කිරීමට වඩා ව්‍යාපාරයක ආදායම මත ක්‍රෙඩිට් කාඩ් පතක ණය සීමාව තීරණය කිරීම එතරම් සරල නොවේ. 

ඔබගේ ජංගම ගිණුම ක්‍රියාත්මක වන ආකාරය (activity), අයිරා පොලි (overdraft) සහ වෙනත් ගාස්තු (fees) ඔබ විසින් ප්‍රමාදයකින් තොරව ගෙවීම් කර තිබීම, චෙක්පත් අගරු වීමේ (cheque return) ප්‍රවණතාව, තැන්පතුවල මාසික සාමාන්‍ය රුපියල් වටිනාකම (average monthly credit value), හරකිරීම් වල මාසික සාමාන්‍ය රුපියල් වටිනාකම (average monthly debit value), බැංකුව සමඟ ඔබ ගනුදෙනු කරන්නේ කොපමණ කාලයක සිටද, ගිණුම්කරණ අනුපාත (financial ratios) අනුව ඔබ බැංකුවට ලාභදායි ගනුදෙනුකරුවෙක්ද  වැනි කරුණු රාශියක් මෙහිදී සැළකිල්ලට ගනු ලැබේ. 

එක් එක් බැංකුවල ප්‍රතිපත්ති අනුව වෙනස් වුවත් ඔබට හිමි විය හැකි ක්‍රෙඩිට් කාඩ්පත් ණය සීමාව පිළිබඳව දළ අදහසක් ලබා ගැනීමට ඔබ නියැලී සිටින ව්‍යාපාරයේ ආදායම (business income) මත ඔබට හිමිවන ක්‍රෙඩිට් කාඩ්පත් ණය සීමාව excel sheet එකක නිකමට වගේ හදල බලමු ද 


ඔබ නියැලී සිටින ව්‍යාපාරයේ ආදායම (business income) මත අයදුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි 

01. නිසි ලෙස සම්පූර් ණ කොට අත්සන් යෙදු ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්පත්‍රය (duly completed and properly signed credit card application)

02. අයදුම්කරුගේ අනන්‍යතාවය තහවුරු කර ගත හැකි ලියකියවිලි

(නිදසුන්: පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර් තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පතේ National Identity Card සත්‍ය පිටපතක් True Copy ලෙස සහතික කල පිටපතක්)

03. අයදුම්කරුගේ ස්ථිර ලිපිනය (permanent address) තහවුරු කර ගත හැකි ලියකියවිලි

(නිදසුන්: අයදුම්කරුගේ නමින් ලැබෙන විදුලි බිල්පත්)

04. අයදුම්කරුගේ ව්‍යාපාරික අදායම (business income) තහවුරු කර ගත හැකි ලියකියවිලි

(නිදසුන්:  අදායම් බදු වාර් තා  income tax reports, පිළිගත් විගණන ආයතනයකින් සහතික කරන ලද විගණන වාර් තා  certified audit reports, යම් කිසි නිශ්චිත කාල වකවානුවක් සඳහා  අයදුම්කරුගේ ජංගම ගිණුම් වාර් තා  statements / reports on current accounts).

05. අයදුම්කරුගේ ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය (business registration certificate)

06. ඔබගේ බැංකුව විසින් ඉල්ලා සිටින වෙනත් අතිරේක ලියවිලි (additional supportive documents)



ඔබගේ තැන්පතු (deposits) මත අයදුම් කිරීම

ඉහත ක්‍රම දෙකටම ඔබට ණය කාඩ්පතක් ඉල්ලුම් කිරීමට නොහැකි වන අවස්ථා ඇත. ඔබ ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක් නම්, ඔබ බෙහෙවින් වයෝවෘද්ධ නම්, ඔබ සතුව ව්‍යාපාරයක් නොමැති නම්, ඔබ රැකියා විරහිත නම්, ඔබගේ අයදුම්පත කුමන හෝ ක්‍රමයකින් දැනටමත් ප්‍රතික්ෂේප වී ඇත්නම්, ඔබට ඇති එක් විකල්ප ක්‍රමයක් ලෙස තැන්පතු මත අයදුම් කිරීම  හැඳින්විය හැක.

මෙහිදී සිදු වන්නේ ඔබ ක්‍රෙඩිට් කාඩ් පතක් අයදුම් කිරීමට අපේක්ෂිත බැංකුවේම ඔබ විසින් යම් කිසි ආකාරයක මුදල් තැන්පතු ගිණුමක් විවෘත කොට එහි බැංකුව විසින් නියම කරන මුදලක් තැන්පතු කිරීමයි. ඉන් පසුව බැංකුව විසින් එම තැන්පතු මුදල සුරැකුමක් ලෙස අවහිර කොට ඒ වෙනුවෙන් ඔබට ක්‍රෙඩිට් කාඩ් පතක් නිකුත් කරනු ඇත. ක්‍රෙඩිට් කාඩ්පත් ණය සීමාව, තැන්පතු මුදලින් යම් කිසි ප්‍රතිශතයක් වනු ඇත.

උදාහරණයක් ලෙස ඔබ තැන්පතු කළ මුදල රු. 100,000   ක් නම් ඉන් 75% ක ණය සීමාවක් (එනම් රු. 75,000 ක ණය සීමාවක්) සහිත ක්‍රෙඩිට් කාඩ් පතක් ඔබ වෙත නිකුත් කිරීමට ඔබගේ බැංකුවට හැකියාව තිබේ. 

අවහිර කරන ලද තැන්පතු මුදල යළි ලබා ගැනීමට නම් ඔබ වෙත නිකුත් කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත ඔබ විසින් අවලංගු කළ යුතුය. එහෙත් එම අවහිර කිරීම කෙසේ සිදු වුවත්, ඔබ සතු ඒ තැන්පතුව වෙත ක්‍රමානුකූලව බැංකුව විසින් පොලී ගෙවීම් සිදු කිරීමට එය බාධාවක් නොවේ

 සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.