සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

ණය පියවීම



ඔබ විසින් ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතා කර ඒ මඟින් විවිධ ගෙවීම් සිදු කිරීමේදී ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ භාවිතා කළ හැකි ණය ශේෂය (available balance) ක්‍රමයෙන් අඩු වනු ඇත🠋. ඔබ විසින් භාවිතා කර ඇති ණය  ශේෂය (outstanding balance) ක්‍රමයෙන් වැඩි වනු ඇත🠉.

ඔබ විසින් භාවිතා කර ඇති ණය  ශේෂය මසකට වරක් ඔබට මාසික බිල්පතක් (monthly statement) මඟින් බැංකුව විසින් ඔබට දැනුම් දෙනු ඇත. එම මාසික බිල්පත මුද්‍රණය වන දිනට (statement date) අදාළව එම මුද්‍රණ දිනය දක්වා ඔබ විසින් සිදු කල ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු වල සාරාංශයක් (summary) එහි සඳහන් වනු ඇත.

උදාහරණයක් ලෙස ඔබගේ ක්‍රෙඩිට් කාඩ් පතේ මාසික බිල්පත මුද්‍රණය වන දිනය සෑම මසකම 5 වෙනිදා යැයි සිතමු. 

ඒ අනුව ඔබගේ ක්‍රෙඩිට් කාඩ් පතේ මාසික බිල්පත ජනවාරි 5 වෙනිදා, පෙබරවාරි 5 වෙනිදා, මාර් තු 5 වෙනිදා ආදී වශයෙන් දෙසැම්බර් 5 වෙනිදා දක්වා ඔබ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කරන තාක් කල් සෑම වසරකම මුද්‍රණය වනු ඇත. 

ඒ අනුව ජනවාරි 5 සිට පෙබරවාරි 5 දක්වා ඔබ විසින් සිදු කරන ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු පෙබරවාරි 5 මුද්‍රණය වන මාසික බිලට ඇතුළත් වනු ඇත. පෙබරවාරි 5 සිට මාර් තු 5 දක්වා ඔබ විසින් සිදු කරන ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු මාර් තු 5 මුද්‍රණය වන මාසික බිලට ඇතුළත් වනු ඇත. 

ඔබට ලැබෙන මාසික ප්‍රකාශණය නිරන්තරයෙන්ම ප්‍රවේශමෙන් කියවා බලා තේරුම් ගැනීම  වැදගත්ය. 

ඇතැම් විට එකම ගනුදෙනුව දෙවරක් (duplicates) සටහන් වී තිබිය හැක.  ගෙවීම් කල යුතු දිනය (payment due date) වැරදි සහගත විය හැක. ඔබ අවසානයට බැංකුව වෙත සිදු කරන ලද ගෙවීම් කිරීම (settlement) යාවත්කාලීන වී නොමැති වීමට ඉඩ ඇත. ඔබගේ නමේ හෝ ලිපිනයේ දෝෂ තිබිය හැක. එම නිසා සෑම බිල්පතක්ම විමසිල්ලෙන් කියවා බලා තේරුම් ගැනීම අත්‍යවශ්‍යය

මාසික බිල්පතේ සඳහන් කවර ආකාරයේ හෝ තොරතුරක් පිළිබඳව ඔබට ගැටළුවක් පවතී නම් වහාම ඔබගේ බැංකුව ඇමතීම යහපත්ය.

බැංකුවේ දඩ මුදල්වලට යටත් නොවී, වැඩිම සහන කාලයක් භුක්ති විඳිමින් ක්‍රෙඩිට් කාඩ් පතේ ණය පියවීම සඳහා ඔබ දැනුවත් විය යුතු කරුණු කිහිපයක් ඇත. වැඩිම සහන කාලයක් යන්නෙන් අප අදහස් කරන්නේ පොලී සහනයක් ගැන නොවන බව ඔබ විසින් පැහැදිලිව වටහා ගත යුතුය. 

වැඩිම සහන කාලය යන්නෙන් අප අදහස් කරන්නේ ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත් මාසික බිල්පතේ ඔබ විසින් ගෙවිය යුතුය අවම මුදල හෝ ඊට වඩා වැඩි මුදලක් ඔබ විසින් ගෙවීම් කිරීමට ඔබට බැංකුව විසින් ලබා දී ඇති කාලය යි. අවබෝධයෙන් කටයුතු කළොත් මෙම කාලය දින 51 ලෙස භුක්ති විඳිය හැකිය. 

බොහෝ පාඨකයින් අපගෙන් විමසන්නේ පොලී මුදල් නොගෙවා, ණය මුදල් නොගෙවා ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතා කරන ආකාරය පිළිබඳවයි. පොලී මුදල් නොගෙවා සිටීමට නම් ඔබ විසින් ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ මුළු ණය මුදලම පියවිය යුතුය. ණය මුදල් නොගෙවා සිටීමට නම් ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ මුළු ණය මුදලම පියවා කාඩ්පත අවලංගු කළ යුතුය. අපට ඒ සම්බන්ධයෙන් වෙන පිළිතුරක් නැත.

බැංකුවේ දඩ මුදල්වලට යටත් නොවී, වැඩිම සහන කාලයක් භුක්ති විඳිමින් ක්‍රෙඩිට් කාඩ් පතේ ණය පියවීම සඳහා අවබෝධයක් ලබා ගැනීමට ක්‍රෙඩිට් කාඩ්පත් මාසික ප්‍රකාශණයක ඇතුලත් වන වැදගත් අංග 4 ක් සලකා බලමු.


  1. මාසික ප්‍රකාශනය මුද්‍රිත දිනය (statement date) 
  2. ගෙවීම් කළ යුතු දිනය (payment due date) 
  3. භාවිතා කර ඇති සමස්ත ණය ප්‍රමාණය (total outstanding)
  4. සමස්ත ණය ප්‍රමාණයෙන් ගෙවිය යුතු අවම මුදල (minimum payment due)


ඉහත 3 සහ 4 යන කරුණු අනුව ඔබට එක්වරම අවබෝධ වන කරුණක් ඇත. එනම් කිසි විටෙකත් ඔබ විසින් භාවිතා කර ඇති සමස්ත ණය ශේෂය පියවා දැමීමක් බැංකුව ඔබගෙන් කිසි විටෙකත් අපේක්ෂා නොකරන බවය. 

බැංකුව ඔබගෙන් අපේක්ෂා කරන්නේ එම සමස්ත ණය ශේෂයට අදාළ අවම ණය ශේෂය පියවීම පමණකි. මෙම ක්‍රම වේදය තුළ සැඟවුණු ණය උගුලක් (credit trap) ඇතැයි ඇතැමුන් ප්‍රකාශ කරති. එසේම මෙම ක්‍රම වේදය තුළ සැඟවුණු ණය කළමනාකරණ ශිල්පයක් (credit management strategy) ද ඇතැයි තවත් පිරිසක් කියති. දෙකම ඇත්තය. අවශ්‍ය කරන්නේ ක්‍රම වේදය අවබෝධ කරගෙන එය ඔබගේ ආර් ථි කයට ගලපවා ගැනීමයි. 

ක්‍රෙඩිට් කාඩ්පතක භාවිතා කර ඇති සමස්ත ණය ශේෂයෙන් අවම මුදල පමණක් පියවමින් මාස කිහිපයක් භාවිතා කළොත් ඔබ බංකොලොත් වීමට එයම ප්‍රමාණවත් ය. අවම මුදල පමණක් පියවීමේදී සමස්ත ණය ශේෂයෙන් එම අවම මුදල පමණක් අඩු වී ඉතිරි ශේෂය බැංකුව විසින් ඊළඟ මාසයට ඉදිරියට ගෙන යනු ලැබේ (balance carried forward). 

එම ඉතිරි ශේෂයට පොලී මුදල් එකතු වේ. ඉදිරි මාසයේදී ඔබ නැවතත් ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා සිදු කරන ගෙවීම්ද එම ණය ශේෂයට යළි එකතු වේ. අවසානයට ඔබට ගෙවා ගැනීමට සිතා ගැනීමටවත් අපහසු විශාල ණය ශේෂයක් ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත තුළ ඉතා කෙටි කලක් තුළ එකතු වනු ඇත.

ඇතැම් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් ඔවුන් භාවිතා කර ඇති සමස්ත ණය ශේෂය සෑම මාසයක් අවසානයට මුළුමනින්ම පියවා දමති (total settlement). ඔවුන් කිසි දිනෙක පොලී මුදල් නොගෙවති. පොලී මුදල් නොගෙවා සිටීමේ අරමුණින්, භාවිතා කර ඇති සමස්ත ණය ශේෂය සෑම මාසයක් අවසානයට මුළුමනින්ම පියවා දමන්නේ නම්, ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතා කරනවාට වඩා, තම ඉතිරි කිරීමේ ගිණුමට ඩෙබිට් (debit) කාඩ්පතක් ලබා ගෙන එම ඉතිරි කිරීමේ මුදල් මඟින් ගෙවීම් කටයුතු සිදු කිරීම වඩා උචිත බව අපගේ අදහසයි. 

භාවිතා කර ඇති සමස්ත ණය ශේෂය සෑම මාසයක් අවසානයට මුළුමනින්ම පියවා දැමීම ණය කළමනාකරණය (credit management) ලෙස අපි නොදකිමු. එය ණයෙන් නිදහස් වීමකි (debt-free living). තම ඉතුරුම් මුදල් මඟින් සිදු කර ගැනීමට අපහසු, එහෙත් අත්‍යවශ්‍ය ගෙවීම් සිදු කර, ඉන් කොටසක් ක්‍රමානුකුලව පියවමින්, එම ණය ශේෂය තම ආර් ථි කයට ගැළපෙන පරිදි සාධාරණ මට්ටමකින් පවත්වාගෙන යාම ණය කළමනාකරණය ලෙස හඳුන්වා දීමට අපි කැමැත්තෙමු.

ක්‍රෙඩිට් කාඩ්පතක ණය පියවීමට ඔබට සුදුසුම ක්‍රම වේදය හඳුනා ගැනීමට ප්‍රථමයෙන් ඔබ විසින් එම ක්‍රෙඩිට් කාඩ්පත වෙනුවෙන් මාසිකව සිදු කළ හැකි උපරිම ගෙවීම් මුදල හඳුනා ගත යුතු වේ. ඒ අනුව ඔබ ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත තුළ පවත්වා ගත යුතු උපරිම ණය ප්‍රමාණය පිළිබඳව අදහසක් ලබා ගත යුතුය. 

බොහෝ ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන් ඔවුන්ට හිමිවන ක්‍රෙඩිට් කාඩ්පතේ ණය සීමාව උපරිමයෙන් භාවිතා කරති. ඉන්පසුව එහි භාවිතා කළ හැකි ශේෂයක් නොමැත. ඇත්තේ භාවිතා කළ ණය ශේෂයකි. ජීවිත කාලයම එයට පොලී ගෙවීමෙන් එම ණය පියවීමට උත්සාහ කරමින් කල්ගත කරති. 

එසේ නොවේ. ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතට ලබා දී ඇති ණය සීමාව එකවර භාවිතා නොකර, ඔබට කළමනාකරණය කර ගත හැකි ණය ශේෂය මුලින් වටහා ගැනීම යි ප්‍රථමයෙන් ඔබ විසින් කළ යුත්තේ. මාසික වැටුප රු. 60,000 ක් නම් ඉන් ඔබට අතට හිමි වන්නේ රු. 40,000 ක් නම්, එය ලැබුණු පසු එයිනුත් අනිවාර් ය වියදම් රු. 10,000 ක් නම්, ඔබ ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ පවත්වා ගත යුතු වන්නේ රු. 30,000 ක් හෝ ඊට වඩා අඩු මුදලකින් කළමනාකරණය කර ගත යුතු ණය ශේෂයකි.  

රැකියාවේ වැටුප් ආදායම (salary income) මත ක්‍රෙඩිට් කාඩ්පත තුළ ඔබ පවත්වා ගත යුතු ණය ශේෂය නිකමට වගේ excel sheet එකක හදල බලමුද 

ව්‍යාපාරයේ ආදායම (business income) මත ක්‍රෙඩිට් කාඩ්පත තුළ ඔබ පවත්වා ගත යුතු ණය ශේෂය නිකමට වගේ excel sheet එකක හදල බලමුද 


සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.