සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

ATM යන්ත්‍රයෙන් මුදල් නිකුත් නොවී ඔබගේ ගිණුම් ශේෂය අඩු වීමේ ජන(අ)ප්‍රිය ගැටලුව


ශ්‍රී ලංකාව තුල ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන් බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් මුහුණ දෙන පොදු ගැටළුවක් අද අපේ සාකච්ජාවට බඳුන් වේ. ඒ නම් ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කොට ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමක දී  කාඩ්පත් හිමිකරු විසින් ඉල්ලුම් කරන ලද මුදල අර්ධ වශයෙන්  නිකුත් වීම හෝ එසේත් නැතහොත් මුළුමනින්ම නිකුත් නොවීමේ අනපේක්ෂිත සහ විරල සිදුවීම යි. 

ඇත්තෙන්ම මෙවන් අවස්ථාවක දී කාඩ්පත් හිමිකරු ස්වභාවයෙන්ම බියට පත්වනු දැකිය හැක. බිය වඩාත් තීව්‍ර වන්නේ ඔහු ක්‍රෙඩිට් කාඩ්පත ලබා ගත් බැංකුවෙන්  ඔහුගේ ජංගම දුරකථනය වෙත ස්වයංක්‍රීයව ලැබෙන කෙටි පණිවිඩය දුටු විටය.

“ඔබගේ බැංකු ගිණුම රු. * ගණනකින් අඩු වී ඇත. ඔබගේ ප්‍රවර්තන ශේෂය රු * වේ. අප සමඟ ගනුදෙනු කළ ඔබට ස්තුතියි”

කාඩ්පත් හිමිකරු ඔබනම්, ATM යන්ත්‍රයෙන් මුදල් නිකුත් නොවූ බව ට ඔබ හිසේ අත තබා සහතික වනු ඇත. එහෙත් දැන් මේ කෙටි පණිවිඩයේ සටහන් වන්නේ ඔබ ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගත් බවයි. කාට කියන්නද මේ අවනඩුව?

ඔව්, ඔබට මේ අවනඩුව කියන්නට ඕනෑතරම් පාර්ශවකරුවන් ඇත. මුලින්ම සිහිවන්නේ ලෝක පාලන දෙවියන්ය. එහෙත් පසුව ඔබ ක්‍රම ක්‍රමයෙන්, ප්‍රයෝගිකව, බිම් මට්ටමේ පුද්ගලයින් වෙත යොමු වනු ඇත.

ප්‍රවේශම් විය යුතු වන්නේ මෙන්න මේ අවස්ථාවේදීය. කිසි විටෙකත් ඔබට පසු ව එම ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට පැමිණෙන තැනැත්තාට ඔබගේ ඇබැද්දිය පැවසීමෙන් වළකින්න. ඔවුන්ට කළ හැකි දෙයක් නැත. ඔබේ ගිණුමේ තත්වය ඔවුන්ට පරික්ෂා කිරීමට ඔවුන්ට නීතියෙන් අවසර නොමැත. සොර සිත් ඇත්තෙකු නම් ඔබගේ කාඩ්පත නැවත වරක් ඔබ ලවාම භාවිතා කිරීමට සලස්වා ඔබගේ මුදල් පැහැර ගැනීමට ද ඉඩ තිබේ.

ATM යන්ත්‍රය අයත් බැංකුවට පැමිණිලි කිරීමේ තේරුමක් ද නොමැත. (එහෙත් බොහෝ කාඩ්පත් හිමිකරුවන් මුලින්ම දිව යන්නේ ATM යන්ත්‍රය අයත් බැංකුව වෙතට ය. එක් හේතුවක් නම් එවන් අවස්ථාවකදී දුක් ගැනවිල්ල කියන්නට බැංකු නිලධාරියෙක් හමු වීමට ඇති පහසුම ස්ථානය එය නිසාය. තවත් හේතුවක් නම් ATM යන්ත්‍රයෙන් නිකුත් නොවූ, එහෙත් තමාට අයත් මුදල් ATM යන්ත්‍රයේ තවමත් පවතින බැවින් එම ATM යන්ත්‍රය අයත් බැංකුව ට තම මුදල් ලබා දිය හැකි ය යන මිත්‍යා විශ්වාසය නිසාය).

ATM යන්ත්‍රය අයත් බැංකුවේ සේවයේ නියුතු නිලධාරින්ට ඔබගේ ගිණුම තුල සිදු වූ ගනුදෙනු පරික්ෂා කළ නොහැක. ඔබට ලැබුණු කෙටි පණිවිඩ ඔවුන්ට පෙන්වීමෙන් පළක් ද නොමැත. එම කෙටි පණිවිඩය ඔබ වෙත එවා ඇත්තේ ඔවුන් නොවේ. ඔබ කාඩ්පත ලබා ගත් බැංකුව විසිනි. 

ඔව්, තර්කානුකුලව ඔබට සත්‍යය අවබෝධ වනු ඇත. ඔබේ කාඩ්පතින් සිදු වූ ගනුදෙනු පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දිය හැක්කේ ඔබ කාඩ්පත ලබාගත් බැංකුව විසින් පමණි. ඔබට නොලැබුණු මුදල් ඔබ වෙත ලබා දිය හැක්කේ ද  ඔබ කාඩ්පත ලබාගත් බැංකුව විසින් පමණි.

හොඳයි, ඔබ කාඩ්පත ලබාගත් බැංකුවත්, ATM යන්ත්‍රය අයත් බැංකුවත් දෙකම එකම නම් කුමක් කළ යුතු ද? සරලය. සිදු වී ඇත්තේ එකම බැංකුවක් තුළ ඔබ එහි එක් ශාඛාවකින් කාඩ්පත ලබාගෙන එම බැංකුවේම තවත් ශාඛාවක ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට තැත් කිරීමයි. මෙතන දී ඔබට ඕනෑම ශාඛාවකට ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කළ හැක. එකම බැංකුවක් වූ විට එහි ඕනෑම ශාඛාවක් ඔබ ට නොපැකිළව සහාය වනු ඇත.

ඉහත කිසිවක් සිදු නොකොට කාඩ්පත් හිමිකරු සෘජුවම නීතියේ පිළිසරණ පතන අවස්ථා ද නැත්තේ නොවේ. කෙසේ වුවත් කාඩ්පත් හිමිකරුවෙකු ලෙස ඔබ විසින් සිදු කළ යුතු සුදුසුම දේ ඔබ අතැති කාඩ්පත ඔබ විසින් ලබාගත් බැංකුව ඇමතීමයි. ඒ ඔබේ බැංකුවයි.

දුරකථන ඇමතුමකට වඩා ඇතැම් විට මෙහිදී ඔබගේ බැංකුව ඔබගෙන් ලිඛිත පැමිණිලි කිරීමක් අපේක්ෂා කරනු ඇත. එවන් ලිඛිත පැමිණිලි කිරීමට අනුව බැංකුව ප්‍රථමයෙන්ම ඔබගේ ගිණුම පරික්ෂා කරනු ඇත. අදාල ATM යන්ත්‍රය හරහා ඔබගේ කාඩ්පතේ සිදු වූ ගනුදෙනු මොනවාද යන්නත් ඔබගේ ගිණුමේ සිදු වී ඇත්තේ කුමක් ද යන්නත් ඔවුන් වටහා ගනු ඇත. ATM යන්ත්‍රය අයත් බැංකුවට මෙම කටයුතු සිදු කළ හැක්කේ එක්තරා සිමාවකටය. එසේ හැකි වුවත් එම විස්තර ඔබට දැනුම් දීමට ATM යන්ත්‍රය අයත් බැංකුව බැඳී නොමැත.

ATM යන්ත්‍රය අයත් බැංකුව සමඟ ඔබගේ ගැටලුව ඔබ වෙනුවෙන් සාකච්ජා කරනු ඇත්තේ ඔබට කාඩ්පත නිකුත් කළ ඔබගේ බැංකුවයි. 

සත්‍ය වශයෙන්ම ඔබට මුදල් නිකුත් නොවූ බව තහවුරු කර ගැනීමට සහ එම මුදල් යලි ඔබගේ ගිණුමට බැර කිරීමට / යලි මුදල් ලබා දීමට ඔබගේ බැංකුවට සාධාරණ සහ නිශ්චිත දින ගණනක් නීතියෙන් හිමි වේ. එය ඇතැම් විට දින 45 ක් විය හැක. ඔවුන් කටයුතු කරන්නේ මුදල් පිලිබඳ බරපතල පැමිණිල්ලක් සම්බන්ධයෙන් බව ඔබ විසින් වටහා ගත යුතු වේ. එහිදී බැංකු නිලධාරින් ඉතා සැලකිලිමත්ව සහ විචක්ෂනශිලිව කටයුතු කිරීම අවශ්‍ය ය. යම් දින ගණනක් ගත වීම නොවැලක්විය හැකිය.



ලිඛිත පැමිණිලි කිරීමක් සඳහා ඔබට වැදගත් විය හැකි ලිපි නිදර්ශකයක් මේ සමඟ ඔබ වෙත තිලිණ කරමු.   

A Simple Garbage Solution

කසල දුරලීමට සරල විසඳුමක් (Ash ක්‍රමය / Ash Method)




01. සුදුසු ස්ථානයක් තෝරා ගන්න
Select Location


මෙම ක්‍රමය අනුගමනය කිරීමේදී යම් මට්ටමක දුමාරයක් ඇති විය හැකි බැවින් ඉන් ඔබගේ අසල්වැසියන්ට බාධාවක්, හිරිහැරයක් නොවන බවට වග බලා ගත යුතුය. සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේදී මෙම කරුණ ඉතා වැදගත්ය. (අප තෝරා ගත්තේ තට්ටු නිවසක ඉහලම මහලයි. එහිදී දුමාරයක් මඟින් ඇතිවිය හැකි බලපෑම අවම මට්ටමක පැවතිණි)

Find a suitable place at home where your neighbors would not be affected by smoke. (In this example we are using a balcony at top floor of a flat - smoke affectation is minimum)



මෙම ක්‍රමය අනුගමනය කිරීමේදී ඇතිවිය හැකි දුමාරය පදනම් කොටගෙන ඔබගේ අසල්වැසියාට ඔබට විරුද්ධව සිවිල් නඩුවක් ගොනු කළ හැක. සරල නිදසුනක් 

Your neighbor can take legal action against you if causing a smoke disturbs him.

02. අළු නිෂ්පාදනය කරන්න
Make Ash


එකතුවන පත්තර, ප්ලාස්ටික්, රෙදි හෝ එවැනි දහනය කළ හැකි ඉවත ලන දෑ දින දෙකක් තුළ එක්රැස් කර ගන්න. පිපුරුමක් හෝ එවන් අනතුරක් නොවන ආකාරයෙන් සෙමෙන් සහ ප්‍රවේශමෙන් මේ සියල්ල සුදුසු ලෝහ බඳුනක් තුළ පුළුස්සා ගන්න. භාජනය තුළ පිළිස්සෙන දෑ දණ්ඩකින් එළි පෙහෙළි කිරීම මඟින් පිළිස්සීම වඩාත් සාර්ථකව සිදු වනු ඇත. (අප භාවිතා කලේ පහත දැක්වෙන ආකාරයේ කුඩු ලිපකි. මෙහි වෙළඳපොළ මිළ රු. 600ක් පමණ වනු ඇත)

Collect two day's garbage litter that consist only of plastic, paper, cloth or any other thing you can burn without causing an explosion or similar accident. Burn everything slowly and patiently.  (We used this home made tin for our requirement).



නිපදවන අළු එම ලෝහ බඳුන තුලම තබා ගන්න. සෑම දිනකම ඔබ විසින් ඉවතලන පත්තර, ප්ලාස්ටික්, රෙදි හෝ එවැනි දහනය කළ හැකි දෑ මෙසේ පුළුස්සා ගනිමින් අළු නිපදවා ගන්න. (අප විසින් මෙය සිදු කරන ලද්දේ මැදියම් රාත්‍රියේදීය. එම කාලය තුල අසල්වැසියන්ට ඇති විය හැකි බලපෑම අවමය. දුමාරය යම් අයෙකුට දැක ගැනීමද අසීරුය). කසල දුරලීමේ මෙම සරල විසඳුම සාර්ථකව සිදු කිරීමට නම් ප්‍රමාණවත් තරම් අළු නිපදවා ගැනීම අත්‍යවශ්‍යය.   

Keep all the ash within the burner itself. Each day you keep burning plastic, paper, cloth or things that burn. (In this situation we burnt ours during midnight, so neighbors would least feel the fumes -or see them) Stir the leftovers so every thing would be well accounted for during next burning. Let the ash accumulate. You need a good supply of ash to take care of your garbage.



03. කාබනික කසල එක රැස් කර ගන්න
Collect organic garbage


කාබනික කසල යනු ඉතුරු වුනු ආහාර ද්‍රව්‍ය, භාවිතයට නුසුදුසු එලවලු සහ පලතුරු හෝ දිරාපත් විය හැකි ඕනෑම ද්‍රව්‍යයකි. නිවසේ ශීතකරණය තුල ඇති බොහෝ ද්‍රව්‍යයන් කාබනික ගණයට ඇතුලත්ය. දෙදිනක් තුළ කාබනික කසල වෙනම භාජනයක තබා ගන්න. භාජනයේ පියන වසා තබන්න.පොලිතින් මලුවල තබා ගන්නේ නම් එම පොලිතින් මලුද භාවිතයෙන් පසුව පුළුස්සා දමන්න.

Organic garbage includes leftover food, rotten vegetables and fruit or anything that decays. Take a look inside your refrigerator. Almost everything is organic. Collect two days of organic garbage. Keep it closed in a separate basket with a lid.



අකාබනික කසල, එනම් විදුරු සහ යකඩ දිරාපත් නොවේ. ඒවා සඳහා වෙනම ක්‍රම ඇත. ඒ ගැන පසුව කතා කරමු. ලොකුම ගැටලුව කාබනික කසලයි. ඒවා ඉක්මනින් අපද්‍රව්‍ය බවට පත් වේ. දුර්ගන්ධය පතුරුවයි. සෞඛ්‍යයට අහිතකරය.

Inorganic garbage, like glass and metal which do not decompose should wait. That's another story. Biggest problem is organic waste. They are smelly, attract flies and are a threat to healthy life.

04. සවිමත් සිමෙන්ති බඳුනක් මිළදී ගන්න.Purchase a cement vase


දෙදිනක කාබනික අපද්‍රව්‍ය ත්, දෙදිනක අළු ප්‍රමාණය ත් මෙම සිමෙන්ති බඳුනේ පිරවිය යුතුය. ප්ලාස්ටික් බඳුන් පැලීම් වලට ලක් විය හැකි නිසා මේ සඳහා නුසුදුසුය. යකඩ බඳුන් මළ කෑමට ලක් වේ. පහත දැක්වෙන සිමෙන්ති බඳුන - මඳක් කේවල් කිරීමෙන් පසු - අප මිලදී ගත්තේ රු. 800 කටය.

Two day's organic waste and two day's ash will go into this cement vase. A Plastic vase would not work. It can break when fertilizer is made, increasing the pressure on its walls. A metal basket would not do either. It could rust.



සිමෙන්ති බඳුන ඉවත ලන රෙදි තට්ටුවක් මත තබන්න. (අප භාවිතා කලේ ඉවතලන ඝනකම් පාපිස්සකි). සිමෙන්ති බඳුනේ පතුලින් අපද්‍රව්‍ය දියර වැගිරීමක් සිදු වුවහොත් එය රෙදි තට්ටුව මඟින් උරා ගනු ඇත.

Place the vase on a layer of rags. If anything oozes out from underneath, the rags would absorb it.



පහසුවෙන් දිරා නොයන පොලිතින් උරයක් / කවරයක් සිමෙන්ති බඳුන තුල මල්ලක් මෙන් අසුරන්න. පොලිතින් කවරයේ කොන් / වාටිය සිමෙන්ති බඳුනින් එළියට සිටින සේ තැබිය යුතුය. (අප භාවිතා කලේ පෝර උරයකි. එය ඉතා සවිමත්ය). පොලිතින් මල්ල  භාවිතයට නුසුදුසු වූ පසු එයද පුළුස්සා දැමිය හැක.  

Arrange a mat of polyethylene inside the cement vase so it creates a sort of sac to put in your garbage and ash. The hem of the mat should remain outside the vase. Once unusable, the polythene sac can be also burnt.



05. අළු - කසල - අළු - කසල
Ash - Garbage - Ash - Garbage


ප්‍රථමයෙන්ම අළු තට්ටුවක් සිමෙන්ති බඳුන තුල ඇති පොලිතින් කවරයට දමන්න. ඒ මත කාබනික කසල අතුරන්න. පසුව එම කසල තට්ටුව යලි අළු තට්ටුවකින්ම වසා දමන්න. ඔබට වැටහුනා නේද ක්‍රමය? අළු තට්ටු දෙකක් අතර දුගඳ හමන, කරදරකාරී කැළි කසල සිර කිරීමක් මෙහි සිදු වේ. සරලය. එහෙත් එය කදිම විසඳුමකි.

Pour in a layer of ash into the polythene sac. Then put in the Garbage. spread or stir it with a stick. Cover it with Ash. You got it. You are sandwiching the smelly, unpleasant things between layers of Ash! Simple. But ingenious.

පොලිතීන් කවරයේ කොන් / වාටි මිශ්‍රනය මතම සිමෙන්ති බඳුන තුලටම නවන්න. ඒ මත හොඳ බරක් තබන්න. (අප භාවිතා කළේ වයරයකින් ගැට ගැසූ බ්ලොක් ගල් දෙකකි). බර එසේම තිබෙන්නට හරින්න. මිලිමීටර ප්‍රමාණයෙන්  අළු - කසල - අළු - කසල තට්ටු ක්‍රමයෙන් පහලට තෙරපෙනු ඇත. (බර හැසිරවීමේදී ප්‍රවේසම් විය යුතුය. කකුල මත පතිත විය හැක. එසේම බර තැබීම සමතුලිතව සිදු කල යුතුය. පෙරලුනොත් සිමෙන්ති බඳුනට හානි සිදු විය හැක)

Fold the flaps of Polythene back into the vase. Place a good weight (we used two stones of concrete tied with a wire - nearly 20 kilos) and leave it there that way. The weight would slowly, milimeter by milimeter, would flatten the garbage. Caution; Take care that you do not drop the weight on your foot. Further, if the weight loses its balance and leans on the vase it might crack.



06. පොලිතින් කවරය පිරුණු පසු එය එලියට ගෙන අලුත් පොලිතින් කවරයක් දමන්නTake it out; put in a new one


පොලිතින් කවරය මුළුමනින්ම අළු - කසල - අළු - කසල තට්ටු වලින් පිරුණු පසු එය ඉවතට ගන්න. (බර එසවීමේදී ඔබගේ සෞඛ්‍ය තත්ත්වය / වයස වැනි දෑ පිලිබඳ සැලකිලිමත් වන්න. අවශ්‍ය නම් තවත් අයෙකුගේ සහය ලබා ගන්න). 

එලියට ගත් අළු - කසල - අළු - කසල තට්ටු වලින් පිරුණු පොලිතින් කවරය එම තට්ටු වල වෙනසක් නොවන පරිදි සිමෙන්ති බඳුන යටින් තබන්න. නව පොලිතින් කවරය සිමෙන්ති බඳුනට දමා යලි අළු - කසල - අළු - කසල තට්ටු සෑදීම ආරම්භ කරන්න.

එළියට ගත් කසල තට්ටු සහිත පොලිතින් කවරයේ ඇතැම්විට පනුවන් සිටිනු දැකිය හැක. ඇතැම්විට යම් මට්ටමක දුඟඳක් ද පැතිරේ. කලබල නොවන්න. මේ කොම්පෝස්ට් සෑදීම ආරම්භ වී ඇති බවට හොඳම සාක්ෂියයි.

පණුවන් ඉවත් කිරීමට උත්සාහ නොකරන්න. පොලිතින් කවරය තවත් අලුත් පොලිතින් කවරයක් තුළට ඇතුලත් කොට එය සිමෙන්ති බඳුන යටින් තබා නැවතත් නව පොලිතින් කවරයකට කොම්පෝස්ට් සෑදීම ආරම්භ කරන්න.


  

After the polythene sac is completely filled by ash-garbage-ash layers, haul out the sac (if you are suffering from back pain, take care) and place it under the vase. Put in a new polythene sac and repeat the process.

මෙසේ නිපදවන කොම්පොස්ට් ඔබට එළවලු, මල් හෝ ඕනෑම වගාවකට යෙදිය හැක. මහල් නිවාසයක සිටින ඔබට කසල දුරලීමට මෙය සරල කදිම විසඳුමකි. කසල දුරලිමත් වගාවක් සිදු කිරීමත් එකවිට කල හැක. එහෙත් මේ සියලු කටයුතු ඔබගේ අසල්වැසියන්ට බාධාවක්, හිරිහැරයක් නොවන ලෙසට සිදු කිරීමට  වග බලා ගත යුතුය.

නිසිපරිදි ඇසුරුම් කළහොත් මෙම කොම්පෝස්ට් අලෙවි කිරීමෙන් ඔබට අමතර ආදායමක්ද උපදවා ගත හැකිය.

Use the outcome to your heart's content. It is home-made fertilizer. Pack it neatly; you can even sell it. Whatever you do, take care that your neighbors are not harassed.


CardsLanka සමාජ සත්කාරයකි
CSR Project by CardsLanka

භාණ්ඩ හා සේවා සඳහා ක්‍රෙඩිට් කාඩ් පතකින් ගෙවීම් කිරීමේදී මේ පිළිබඳවත් පරික්ෂාකාරී වෙමු.



අපගේ සෑම දවසක්ම වියදම් සහිතය. එසේ නොවන දවසක් නම් ඒ අප නිවසින් බැහැර නොගොස් ගෙතුලටම වී සිට කිසිත් නොකර කා බී නිදා ගන්නා දවසක් විය යුතුය.

සාමාන්‍ය වැඩ කරන දවසක් තුල අප විසින් කොතෙකුත් මුල්‍ය ගනුදෙනු සිදු කෙරෙනු ඇත. මෙම ගනුදෙනු වලදී අප ගෙවීම් කරන ආකාරය විවිධාකාර විය හැක. කාසි හා නෝට්ටු, චෙක්පත්, බැංකු අණකර, හෝ ඉලෙට්‍රොනික ගෙවීම් උපකරණ (Electronic Payment Devices)මෙහිදී අප භාවිත කරනු ඇත.

ඉලෙක්ට්‍රොනික ගෙවීම් උපකරණ අතුරෙන්, ක්‍රෙඩිට් කාඩ්පත් (එනම් හරකාඩ්පත් / ණය කාඩ්පත්) මගින් මුල්‍ය ගනුදෙනුවක් සඳහා ගෙවීම් කිරීමට සුදානම් වීමේදී මෙන්ම එම ගනුදෙනුව සිදු කරන අතරතුර අප සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් සලකා බලමු.

භාණ්ඩ හෝ සේවා ලබා ගැනීමට ඔබ යම් වෙළෙඳ සැලක් වෙත ඇතුළු වන විට ප්‍රථමයෙන්ම ඔබගේ අවධානය යොමු විය යුත්තේ එම වෙළෙඳසැල හරහා ඔබට සම්බන්ධ විය හැකි ගෙවීම් සේවා ජාලය කුමක් ද යන්න පිළිබඳවයි.

ශ්‍රී ලංකාව තුල නම් එය වීසා (VISA), මාස්ටර්කාඩ් (Mastercard), හෝ Amex (ඇමෙක්ස්) විය හැක. ඇතැම් වෙළෙඳසැල්හරහා ඔබට මේ සියලු සේවා ජාල හරහා සම්බන්ධ විය හැකි වුවත්, ඇතැම් විට එය එකක් හෝ දෙකක් පමණි.

ඔබේ ක්‍රෙඩිට් කාඩ්පතේ සඳහන් සේවා ජාලය කුමක්දැයි සැකහැර හඳුනා ගන්න. එම සේවා ජාලයට අදාළ වෙළෙඳ සලකුණ සහිත වෙළෙඳසැල් වලින් භාණ්ඩ හා සේවා ලබා ගැනීමට ඔබට හැකි වනු ඇත.
ගනුදෙනුව සිදු කිරීමට පෙර ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ එම ගනුදෙනුව සිදු කිරීමට තරම් ප්‍රමාණවත් ණය සීමාවක් ඔබ සතු බව ඔබගේ බැංකුව අමතා තහවුරු කර ගන්න. එහෙත් සැම ගනුදෙනුවක් සඳහාම මෙය සිදු කිරීම ප්‍රයෝගික නොවේ.

එසේම සෑම ගනුදෙනුවක් අවසානයේ ඔබ සතු ණය ශේෂය මතක තබා ගැනීම ද  ගැටලුකාරී ය. මෙයට පිළිතුරක් වශයෙන් බැංකු, ඔබ සිදු කරන සැම ගනුදෙනුවකටම අදාළ ව කෙටි පණිවිඩයක් ඔබගේ ජංගම දුරකතනයට යොමු කරති. මෙවැනි කෙටි පණිවිඩ සේවාවක් සඳහා ලියපදිංචි වීම වාසිසහගතය.

ගනුදෙනුව සිදු කිරීමට ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත වෙළෙඳසැල් හිමියාට ලබාදුන් විට ඔබ ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත දෙස ඉතා අවධානයෙන් බලා සිටින්න. වෙළෙඳසැල් හිමියා එය ඔබගේ දෘශ්‍ය පථයෙන් ඉවතට ගෙන යන්නේ නම් ඒ සඳහා කිසි විටෙකත් ඉඩ නොදෙන්න. එක් ඇසිල්ලක් තුල ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ දත්ත සොරා ගැනීමේ තාක්ෂණය දැන් ලොව පුරා සුලභය.

එහෙත් සියලු වෙළෙඳසැල්හිමිකරුවන් සොරුන් හෝ වංචාකරුවන් නොවෙත්. ඔවුන් සමඟ ආරවුල් ඇති කරගැනීමට අවශ්‍ය නොමැත. ඔබ සුපරික්ෂාකාරී වන්න.

ගනුදෙනුව සිදු කල පසු ඔබට අත්සන් කිරීම සඳහා වෙළෙඳසැල්හිමිකරු ඔබට ලබා දෙන රිසිට්පත ඉතා සැලකිල්ලෙන් කියවන්න. එහි සඳහන් වන පහත කරුණු පිළිබඳව සැලකිලිමත් වන්න.

ගනුදෙනුව සිදු කල දිනය (මෙය වෙනත් දිනයක් නම් රිසිට්පත අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන්න)
ගනුදෙනුව සිදු කල ස්ථානයේ ලිපිනය (මෙය වෙනත් ලිපිනයක් නම් රිසිට්පත අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන්න)

ගනුදෙනුවට අදාළ මුල්‍යමය වටිනාකම (ඉතා ප්‍රවේශමෙන්! රු 500.00 වටිනාකම වෙනුවට රු 50,000 ක වටිනාකමට ඔබගේ අත්සන තැබූ විට ඇති වන තත්වය ඔබටම සිතා ගත හැකිය)

වැරදීමකින් දෝෂ සහිත රිසිට්පතකට අත්සන් තැබූ බව පසු දිනයක දී හෝ ඔබට හැඟී ගියහොත් වහාම, නොපමාව ඔබගේ බැංකුව අමතන්න. කල යුතු දෑ ඔවුන් දනිති.

ඔබට සෞභාග්‍යමත් දිනයක් පතන්නෙමු!

ග්‍රීසිය බංකොලොත් වීම CardsLanka ඇසින්



එකෝමත් එක කාලෙක ඉතා සඃශ්‍රීක හා සෞභාග්‍යමත් ගොවිපොළක් විය. (මේ ග්‍රීසිය යැයි සිතමු). ගොඩින් මෙන්ම මඩින්ද අක්කර ගණනින් යුක්ත වූ මෙම ගොවිපොළේ සියළු වැඩ කටයුතු සිදු කළේ ගම ගෙදර ගම පුතුන් විසිනි. (මේ ග්‍රීසියේ ශ්‍රම බලකාය යැයි සිතමු) ගොවිපොළේ වැඩ කටයුතු ඉතා අධික වූ බැවින් සියළු මිළ මුදල් කටයුතු කළමනාකරණය කරන ලද්දේ ගම ගෙදර ගමරාළ විසිනි. (මේ ග්‍රීක ආණ්ඩුවයි)

ඔහු අතපය වෙහෙසා වැඩ නොකළත් තම පුතුන් ඉතා වැර වෑයමෙන් ගොවිතැන් කොට ගෙදර ගෙන එන අස්වැන්න මැනවින් ප්‍රවේශම් කළේය. එම පුතුන්ම යොදවා ඔවුන් විසින්ම ගමේ කඩමණ්ඩියේ අනෙකුත් ගම්වාසීන්ට විකුණා ලබන ආදායම තිතට කළමනාකරණය කළේය. ගෙදර වියදම් කලට වේලාවට පියැවීය. කිසි විටෙකත් අන්‍යයන්ට ණය නොවීය. (ග්‍රීසියේ ඉහළ දළ දේශීය නිශ්පාදනය, අන්තර්ජාතික වෙළෙඳාම හා එහි ස්වර්ණමය යුගය)

අතපය වාරු නොමැතිව සිටි වයොවෘද්ධ තම දෙමව්පියන්ට ද ගමරාළ ඉතා ඉහළින් සැළකුවේය. ඔවුන්ගේ අසනීප තත්වයන් ක්‍රම ක්‍රමයෙන් නරක අතට හැරීමත් සමඟ බෙහෙත් හේත් වෙනුවෙන් දැරිය යුතු වියදම් ද ඉහළ ගියේය. එහෙත් ගමරාළ තම දෙමව්පියන්ට කිසිවිටෙකත් අඩුපාඩුවක් සිදු නොකිරීමට දිවි හිමියෙන් වග බලා ගත්තේය. (ග්‍රීසියේ විශ්‍රාමික ප්‍රජාවගේ බලපෑම)

අනෙක් පුතුන් මෙන් ගොවිපොළේ කාර්යයන් සඳහා නොයෙදිය හැකි තරුණ දියණියක්ද ඔහුට විය. ඈ ඉතා හොඳින් උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළ උපාධිදාරිණියකි. එහෙත් ඇයට සුදුසු රැකියාවක් සොයා දීමට ගමරාළ අපොහොසත් විය. ඒ කෙසේ වෙතත් ඇයගේ එදිනෙදා අවශ්‍යතා ඇයට අඩුපාඩුවක් නොදැනෙන පරිද්දෙන් සපුරාලීමට ගමරාළ උත්සුක වූයේ ඇය කෙරෙහි වූ පිය සෙනෙහසින්මය. ඇය වෙනුවෙන්ද සැළකිය යුතු ධනයක් ගමරාළ මාසිකව විය හියදම් කළේය.  (විරැකියාවෙන් පෙළුනු ග්‍රීසියේ තරුණ පෙළ)

මේ අතර ගමේ ආර්ථිකය වේගයෙන් දියුණු වන්නට විය. සාමාන්‍ය මුදල් ගනුදෙනු, බැංකු ගනුදෙනු හා ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු අධික විය. ගමේ නව කඩ සාප්පු විවෘත වන්නට විය. බැංකු ශාඛා කිහිපයක්ම ස්ථාපිත විය. (සමස්ථ යුරෝපයේ ඉහළ මට්ටමේ ආර්ථික කටයුතු)
 
 
එක්තරා දිනයක ගමරාළ තම ගිණුම් සටහන් තුලනය කළ විට ඔහුගේ මුළු වියදම් ප්‍රමාණය ඔහුගේ මුළු ආදායම් ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බව ඔහු දුටුවේය. එතරම් දැනුවත්භාවයක් නොතිබුනත් මෙම තත්වය සමනය කර ගනු පිණිස ගමරාළ එක්තරා බැංකුවකින් ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා ගත්තේය. (ග්‍රීසියේ ජාතික ණය බර National Debt) ගමේ කළු කඩ මුදලාලිට, පොලී මුදලාලිට ණය වීමට ඔහු අකමැති විය. (ග්‍රීක බැංකුවලින් ග්‍රීක ආණ්ඩුවේම ණය පියවීම ඵල රහිතය)

ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතාවට යොමු වී ඇති ගමේ අනෙකුත් ප්‍රභූ පෙළැන්තිය සමඟ හැකි පමණින් තම අදහස් හුවමාරු කරගත් ගමරාළ දුටුවේ ඔවුන් තමන්ට වඩා බොහෝ සෙයින් බැංකුවලට ණය වී ඇති බවයි. එහෙත් ඔවුන්, තමාට වඩා ඉතා සැහැල්ලුවෙන් දිවි ගෙවන බව ඔහුට පෙනී ගියේය.

තමාටත් එසේ සාර්ථක ජීවිතයක් ගත කළ හැකිවනු ඇතැයි ගමරාළ විශ්වාස කළේය. නමුත් ඔහුට වඩා කිහිප ගුණයකින් වැඩි ආදායමක් එම ප්‍රභූ පෙලැන්තිය ලබන බව ඔහුට අවබෝධ වූයේ නැත. ඔවුන් ඉහළ ආදායම් ලබා වැඩියෙන් වියදම් කළහ. 

ඒ නිසා බැංකු ඔවුන් කෙරෙහි වැඩි විශ්වාසයක් තබා අඩු පොලියක් අය කළහ. අඩු පොළිය නිසා ඔවුන් තව තවත් ඔවුන්ගේ සුඛ විහරණය සඳහා විය පැහැදම් කළහ. එහෙත් නිරන්තරයෙන් ඔවුන් තම ආදායම් තත්වය ඒ හා සමානව ඉහළ නංවා ගැනීමට බුද්ධිමත් වූහ. (ග්‍රීසියේ අසල්වැසි රටවල සාර්ථකත්වය)

quora.com ආශ්‍රයෙනි
 
ගමරාලගේ ඉරණම ගැන තවත් රසවත් හා සරල තොරතුරු රැගෙන යළි හමුවෙමු. ඊළඟ Post එක ගැන දැනගන්න Follower කෙනෙක් වෙන්න!

ක්‍රෙඩිට් කාඩ්පත අයදුම් කිරීමට අසල්වැසි සහය



CardsLanka පාඨක රසික රසිකාවියන් නිරතුරුවම ඔවුන්ගේ ගැටළු, යෝජනා සහ අදහස් අප වෙත යොමු කරයි. ඒ අතුරෙන් ඔවුන් අපගෙන් නැවත නැවතත් පුන පුනා විමසුම් කෙරෙන යම් යම් ගැටළුකාරී අවස්ථා අප විශේෂයෙන් නිරීක්ෂණය කරමු. ඒවාට පැහැදිලි හා තීරණාත්මක පිළිතුරු අප්‍රමාදව ලබා දීමට උත්සුක වෙමු.

අපගේ අවධානය යොමු වූ එවන් එක් ගැටළුවක් වන්නේ ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්කරුට ඔහු / ඇය පදිංචි ලිපිනයේ ස්ථාවර දුරකථන අංකයක් නොමැති වීමයි. බොහෝ බැංකු මෙවන් ස්ථාවර දුරකථන අංකයක් පිළිබඳව ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්කරුගෙන් විමසුම් කිරීම බැංකුවේ දෘශ්ඨි කෝණයෙන් හේතු සහිතය. සාධාරණය. ඒ ඇයි?

ඔබට ක්‍රෙඩිට් කාඩ්පතක් නිකුත් කළ පසු ඒ පිළිබඳව යම් හදිසි අවස්ථාවක දැනුවත් කිරීමට බැංකුවට ඔබ හැකි ඉක්මණින් සම්බන්ධ කර ගත හැකි විය යුතුය. ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත ඔබ නොදැනුවත්ව අස්ථාන ගත විය හැක. වෙනත් අයෙකු විසින් එම කාඩ්පත සොයාගෙන එය ළඟම ඇති බැංකු ශාඛාවකට භාර දීමට ඉඩ ඇත. අනෙක් අතට එය සොයාගත් තැනැත්තා සොර සිතැතිව ඉන් භාණ්ඩ මිළදී ගැනීමට ඉඩ ඇත. ඔබගේ කාඩ්පත සෑම වසරකටම හෝ වසර දෙකකට වරක් කල් ඉකුත් විය හැක. ඔබගේ අතින් කාඩ්පත සඳහා ගෙවීම් අතපසු විය හැක.

මෙවන් අවස්ථා රාශියක්දී ඔබගේ බැංකුවට අවශ්‍ය වන්නේ ඔබ අමතා අදාළ පණිවිඩය ඔබ අතට පත් කිරීමයි. ඔබගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. ඔබගේ තොරතුරු වෙනත් අයෙකු වෙත පත්වීම වැළක්වීමයි. ඔබ ණය ගෙවීම පැහර හරින්නෙකු ලෙස ණය තොරතුරු කාර්යාංශයේ සටහන් වීම වළක්වාලීමයි. වඩාත්ම වැදගත් - ඔබ වගකිවයුතු, ඔබ ලබාගත් ණය ආරක්ෂා කිරීමයි.

ඔබගේ ජංගම දුරකථනය මේ සියළු කටයුතු සඳහා ප්‍රමාණවත් බව ඇත්තකි. එහෙත් ඇතැම් ජංගම දුරකථන හිමකරුවන් ඒවා වගකීමකින් යුතුව භාවිතා නොකරති. නිරන්තරයෙන් සක්‍රියව තබා නොගනිති. කලට වේලාවට charge කර නිසි ලෙස නඩත්තු නොකරති. තම ජංගම දුරකථන සම්බන්ධතාවය සුළු සිදුවීමකට, සුළු ලාභයකට, විසන්ධි කර අළුත් සම්බන්ධතාවයක් ලබා ගනිති. කල්පනාකාරී නොවෙති.

සරලව කියතොත් බැංකුවකට ක්‍රෙඩිට් කාඩ්පත් අයදුමකරුගේ ජංගම දුරකථනය මත විශ්වාසය තබා කටයුතු කිරීම අසීරුය. අවදානම සහගතය. (එහෙත් ඇතැම් බැංකු මෙම අවදානම භාර ගෙන ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන අවස්ථා ද නැත්තේ නොවේ. තීරණය බැංකුව සතුය.)

ඒ අනුව බැංකුවක් ක්‍රෙඩිට් කාඩ්පත අයදුම්කරුවෙකුගෙන් ඔහු පදිංචි ලිපිනයේ ඇති ස්ථාවර දුරකථනය පිළිබඳව විමසුම් කිරීම පුදුමයක් නොවේ.

හොඳයි. දැන් මීට විකල්ප විසඳුමක් සිතමු. ඔබ පදිංචි ලිපිනයට ස්ථවර දුරකථනයක් නැත. ඔබට ඇත්තේ ජංගම දුරකථනයක් පමණි. එහෙත්...

...ඔබගේ නිවසට යාබදව හෝ සමීපයේ සිටින අසල්වැසියෙකුට ස්ථාවර දුරකථන අංකයක් ඔහුගේම නමින් තිබිය හැක. ඔහුගේ අනුමැතිය මත ඔබට එම ස්ථාවර දුරකථන අංකය බැංකුව වෙත ලබා දිය හැකි නම්, එම අංකය භාර ගැනීමට බැංකුව එකඟ වන්නේ නම්, එය කදිම පිළියමක් වනු ඇත.

ප්‍රථමයෙන්ම මේ සඳහා ඔබ සිදු කළ යුත්තේ ඔබගේ නිවස සමීපයේ පදිංචි එම අසල්වැසි මහතා විවේක වේලාවකදී මුණ ගැසීමයි. ඔබ සුහදව ඔහු සමඟ කථා බස් කළ යුතුය. ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට ඇති ඔබගේ අවශ්‍යතාවය නොසඟවා හෙළි කළ යුතුය. එසේම ඔබ ඔහුගෙන් ඉල්ලා සිටින්නේ ඇපවීමක් ද නොවන බව පැහැදිළිව තේරුම් කර දිය යුතුය. (ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා ගැනීම සඳහා කිසි විටෙකත් ඇප ඉදිරිපත් කිරීමක් අවශ්‍ය නොවේ)

ඔහුගෙන් අවශ්‍ය වන්නේ ඔබගේ බැංකුව ඔබ අමතමින් ඔහුගේ ස්ථාවර දුරකථන අංකයට ලබාගන්නා ඇමතුම් ඔහු විසින් ලබාගෙන අදාළ පණිවිඩය හැකි ඉක්මණින් ඔබ අතට පත් කරන බවට තහවුරුවකි. ප්‍රකාශයකි.

ඔබ විසින් සම්පූර්ණ කර අත්සන් යොදා පසුව ඔහු වෙත ඉදිරිපත් කර ඔහුගේ අත්සන් ලබා ගත යුතු රාජකාරි මට්ටමේ සම්මත ලිපියක් මේ සමඟ ඔබ වෙත පිරිනමමු. 

මෙය ඔබ විසින් බාගත කරගෙන මුද්‍රිත පිටපත් ලබා ගත යුතුය. ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමු.

#488#


අපි හැමෝම නොවැළැක්විය හැකි ලෙස වයොවෘද්ධභාවයට පත් වන්නෙමු. වයසට යන්නෙමු. දුර්වල වන්නෙමු. අසරණ වන්නෙමු.

දැන් අප නියැලී සිටින රැකියාවෙන් අපට කවදා හෝ ඉවත් වීමට සිදුවනු ඇත. අප හා සමාන සුදුසුකම් ඇති තවත් අයෙක් අපගේ වැඩ කොටස භාර ගනු ඇත. ඔබම සිතා බලන්න. ඔබ ඔබගේ සේවයෙන් සමුගන්නා දිනයට ඔබ සූදානම්ද?

ඔබ වෘත්තිය වේදියෙකු වුවත් ඔබට මේ ගැටළුව මතු වනු ඇත. දුව පැන කඩිසරව ඔබගේ සේවය ඔබගේ ගනුදෙනුකරුවන්ට ලබා දිය නොහැකි කාලයක් පැමිණේවි. එදිනට ඔබ සූදානම්ද?
 
දරුවන් සිටියත් මේ සංකීර්ණ ආර්ථිකය හා සමාජක්‍රමය අනුව ඔවුන්ට අප ගැන සිතීමටවත් කාලයක් ඉතිරි වේදැයි සිතීම උගහටය. දරුවන් නැත්නම් ඉතින් කොහොමත් අසරණය.

රජයේ රැකියාවල නියුතු රාජ්‍ය සේවකයන්ට මේ ගැටළුව තරමක් තුනී වෙයි. ඔවුන් විශ්‍රාමයකට හිමිකම් කියන බැවිනි. එහෙත් අප රටේ බහුතරයකට විශ්‍රාම වරම් නැත. වයස් ගත වූ විට ජීවත් වන ආකාරය හිතා ගන්නටත් බැරිය.

අප බොහෝ දෙනෙක් විශ්‍රාම සැලසුම් ගැන උනන්දුවන්නේ මේ නිසාය. ඔබට හැකියාවක් ඇති කාලයේ කිසියම් හෝ මුදලක් ඉතිරි කරගෙන ඒ ඉතිරි කරගත් මුදල ජීවිතයේ සැඳෑ සමයේ සැහැල්ලුවෙන් ගත කිරීමට යොදා ගත හැකි නම් ඉතා අගනේය. එවන් ආයෝජන සැලැස්මක් කල්තබා ආරම්භ කළ විට ඔබේ හිතේත් භයක් චකිතයක් නැත. හිත ශක්තිමත් වේ.

හොඳයි. ඔබ ඒ වගේ දෙයක් ආරම්භ කරන්නට කැමතියි. කොතනින්ද පටන් ගන්නේ?

පිළිතුර ඇත්තේ ඔබ අතේමය. ඒ ඔබේ ජංගම දුරකථනයයි.


  1. #488# කර තොරතුරු මෙනුවට පිවිසෙන්න.
  2. 30 Type කර Send කරන්න
  3. 3 Type කර Send කරන්න
  4. 1 Type කර Send කරන්න
  5. ඔබ උපන් වර්ෂය සඳහන් කර කරන්න
  6. ඔබ විශ්‍රාම දිවියට ඇතුළත් වීමට කැමති වයස සඳහන් කරන්න
  7. ඔබ අද දින සිට මාසිකව ඉතිරි කිරීමට සූදානම් මුදල සඳහන් කරන්න.

ආයෝජන සැළැස්මේ සියළු විස්තර ඔබට ලැබෙනු ඇත!

ඔබට ජය!

ATM ගනුදෙනුවක් නිවැරදිව සිදු කරමු - 1 කොටස



ඉරිදා දිනයෙකි. ඔබට හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇති වෙයි. හිස ගිනි ගත් කලෙක මෙන් ඔබ දිව යන්නේ ළඟම තිබෙන ATM යන්ත්‍රය වෙතයි. ඒ වන විටත් එහි ගනුදෙනුවක් සිදු කරමින් සිටින තැනැත්තා ATM කුටියෙන් එළියට එන තුරු වත් මඳක් රැඳෙන්නට ඔබට ඉස්පාසුවක් නැත. ඉඩ ලද සැනින් කුටියට ඇතුළු වන ඔබ කාඩ්පත ATM යන්ත්‍රයට ඇතුළු කර ඔබගේ ගනුදෙනුව මෙලෝ සිහියක් නැතිව ආරම්භ කරයි.

හිත කලබලයෙන් ATM යන්ත්‍රයක් සමඟ ගනුදෙනු කිරීම එතරම් ප්‍රඥාගෝචර නොවන බව අපි ප්‍රථමයෙන්ම සිහිපත් කිරීමට කැමැත්තෙමු. ATM ගනුදෙනු තබා වෙනත් කිසිදු කටයුත්තක් හිත කලබලයෙන් සිදු නොකළ යුතුය. එසේ කරන්නට ගිය විට කොහෙන් හෝ වැරදෙයි. 

ඔබ මේ ගනුදෙනු කරන්නේ යන්ත්‍රයක් සමඟය. වැඩසටහන් කර ඇති පරිඝනකයක් සමඟය. සිහි බුද්ධියක් ඇති මිනිසෙකු සමඟ නොවේ. නිර්මාණශිලි චින්තනයක් එයට නැත. ඔබ අතින් සිදු විය හැකි වැරදි එයට වැලැක්විය හැක්කේ එක්තරා දුරකට පමණි. ඔබට මෙන් මනස මෙහෙයවන්නට එයට නොහැක. එහෙත් ATM යන්ත්‍රයක් මෙන් නොව ඔබට සිතීමේ හැකියාවක් ඇත. එය ප්‍රයෝජනයට ගෙන ඔබ ඔබගේ ගනුදෙනුව ප්‍රවේශමෙන් හා සිහි නුවණින් සිදු කළ යුත්තේමය.  

ඇතැම් ගනුදෙනුකරුවන් ප්‍රථම වතාවට ATM ගනුදෙනු සිදු කරන්නට යන්නේ කිසිදු වග විභාගයකින් තොරවය. ඔවුන් සියල්ල අනාගනිති. ATM කාඩ්පත ඇතුළු කළ යුතු දිශාව ගැන නොසිතා උපරිම වීරිය යොදා වැරදි අතට එය ඇතුළු කිරීමට ගොස් කාඩ්පත නවා ගනිති. බිඳ ගනිති. ඉන් පසු බැංකුවට මුදල් ගෙවා යළි කාඩ්පතක් අළුතෙන් සාදවා ගනිති.

ගනුදෙනු කරන විට වටපිට බලමින් මනෝලෝක වල පාවෙති. ඒ අතර ATM යන්ත්‍රය, කාඩ්පත යළි ඒ තුළටම ඇද ගනියි. එයින් බියට පත්ව තම බැංකුවට දුරකථනයෙන් කථා කර කාඩ් අංකය වෙනුවට දුරකථන ක්‍රියාකරුට රහස් අංකය ලබා දෙති. ඊ ළඟට පෝලිමේ ඉන්න ගනුදෙනුකරුගෙනුත් උදව් ඉල්ලති. රහස් අංකය ඔහුටත් පවසති. ඉන්පසු එය තව දුරටත් රහස් අංකයක් නොවන්නේය.


හිස්වැසුම් පළඳා ගෙන කුටියට ඇතුළු වෙති. මොට්ටැක්කිලියෙන් මුහුන ආවරණය කර ගෙන කුටියට ඇතුළු වෙති. විෂ දුම ආග්‍රහනය නොවන්නට නාසය හා මුඛය ආවරණය කරන රෙදිපටි පැළඳ කුටියට ඇතුළු වෙති. මාසයක් දෙකක් ගත වී තමා මේ මේ ගනුදෙනු සිදු නොකළේයැයි බැංකුව සමඟ ආරවුල් ඇතිකරගෙන පසුව ඒ ගනුදෙනු වලට අදාළ කැමරා ඡායරූප නිරීක්ෂණය කොට තවත් අපහසුතාවයට පත් වෙති. ඡායාරූපයේ සිටින එකා මුහුන වසන් කොට එය සිදු කර අති සැටියෙකි!

මේ වැරදි අදින් පසු සිදු නොකරමු. මේ ලිපි පෙළ හොඳින් පරිශීලනය කර සාර්ථක ATM ගනුදෙනුවක් සිදු කරමු. අද දිනය ඔබගේ ප්‍රඥාව පහළ වන සුභ දවසක් වේවා!


මෙම බ්ලොග් අඩවිය ඔබට යම් ආකාරයක අත්වැලක් වී නම් ඉහත දැක්වෙන ඕනෑම social network එකක් හරහා ඔබගේ මිතුරන් අතර share කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබට සේම ඔවුන්ටද මෙම බ්ලොග් අඩවිය ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.

ඔබ අපේක්ෂා කල තොරතුරු මෙහි අඩංගු නොවේ නම් කරුණාකර අපට දන්වන්න. හැකි සෑම අයුරකින්ම අපි ඔබ දැනුවත් කිරීමට සහය වෙමු.

ඔබට මෙම බ්ලොග් අඩවියේ යාවත්කාලින කිරීම් updates පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වීම (RSS feeds) අවශ්‍ය නම් ඉහත Posts (Atom) භාවිතා කිරීම වඩා සුදුසුය.



අමතර වදනක්...
ඔබගේ බැංකුව සමඟ ඔබ සවිමත් සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීම ඔබට බෙහෙවින් වාසිදායකය.
ඔබ විසින් බැංකුව වෙත ඉදිරිපත් කරන ලිඛිත ඉල්ලීම් මේ සඳහා ඔබට උපකාරී වන එක් වැදගත් සාධකයකි.

එහි වැදගත්මක අවබෝධකරගත් අප විසින් ඒ වෙනුවෙන්ම වෙනම විශේෂ බ්ලොග් පිටුවක් ආදරණිය ඔබ වෙනුවෙන් සකස් කර ඇත්තෙමු. නොමිලේ ඔබ වෙත සැපයෙන මෙම PDF ලිපි බාගත කරගෙන එයින් මුද්‍රිත පිටපත් ලබාගෙන ඔබගේ බැංකු කටයතු වඩාත් පහසුවෙන් හා ආකර්ශණියව ඉටු කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ දැක්ම

ශ්‍රී ලංකාව තුළ හා ඉන් බැහැරව ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන්ගේ හදවතට වඩාත් සමීප වෘත්තිමය බ්ලොග් අඩවිය බවට පත් වීම.


අපගේ මෙහෙවර

ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඒ ආශ්‍රිත ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව උනන්දුවක් දක්වන, අන්තර්ජාලයේ ඔබමොබ සැරිසරන, නීතිගරුක, විභව ගනුදෙනුකරුවන් හා සේවාදායකයන් හැකිතාක් අප වෙත ආකර්ෂණය කර ගනිමින්, උපදේශනය, දැනුවත් කිරීම, ව්‍යාපාරික හා රාජකාරි කටයුතු සඳහා ලිපි ලේඛණ සකස් කිරීම ආදී සේවා රැසක් ඔවුන් වෙත කඩිනමින් හා නිරවද්‍යව ලබා දෙමින්, ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂේත්‍රය මුළුමනින්ම නැවුම් යුගයක් කරා වහ වහා රැගෙන යන්නෙමු.