සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

අයදුම්කිරිම


තවමත් ඔබ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියෙකු නොවේ නම් ඔබට ඒ සඳහා අයදුම් (apply) කිරීමට ක්‍රම ගණනාවක් ඇත. 

ඒවායින් කිහිපයක් පමණක් පහත සඳහන් කරමු.  
  1. ඔබ නියැලී සිටින රැකියාවේ වැටුප මත අයදුම් කිරීම.
  2. ඔබ නියැලී සිටින ව්‍යාපාරයේ පිරිවැටුම මත අයදුම් කිරීම.
  3. ඔබගේ තැන්පතු මත අයදුම් කිරීම.
තේරුම් ගැනීමේ පහසුව පිණිස මෙම ක්‍රමවේදයන් එකින් එක වෙන වෙනම තේරුම් ගනිමු.


ඔබ නියැලී සිටින රැකියාවේ වැටුප මත අයදුම් කිරීම. (applying on occupation)

මෙහිදී  බැංකුව විසින් සළකා බලනු ලබන අංග කිහිපයක් ඇත. ඉන් එකක් වන්නේ අයදුම්කරුගේ ශුද්ධ වැටුපයි (Net Salary). අයදුම්කරුගේ දළ වැටුපට (Basic Salary) ඔහුගේ/ඇයගේ  අතිරේක දීමනා (Allowances) එකතු වී අනෙකුත් අය කර ගැනීම් (Deductions) අඩු කළ පසු  ලැබෙන පිළිතුර ශුද්ධ වැටුප ලෙස සාමාන්‍යයෙන් සළකනු ලැබේ. 

සරලව ශුද්ධ වැටුප යනු ඔහුට/ඇයට මාසිකව අතට ලැබෙන සැබෑ මුදලයි. ඕනෑම වැටුප් වාර්තාවක් (Salary Sheet) පරික්ෂාකර බැලූ විට මෙය ඔබට පහසුවෙන් අවබෝධ වනු ඇත. 

ශුද්ධ වැටුප මත අයදුම්කරු වෙත ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා දීමේදී බැංකුව සැලකිල්ලට ගන්නා එක්තරා කරුණක් නම් වැටුප් පත්‍රිකාවේ සඳහන් ශුද්ධ වැටුප මත අදාල අයදුම්කරුට ණය ආපසු ගෙවීමේ හැකියාවක් පවතීද යන්නයි. 


එහිදී ශුද්ධ වැටුප සාපේක්ෂව අඩු අගයක් ගනී නම් අඩු ණය සීමාවකින් (Credit Limit) යුතු ක්‍රෙඩිට් කාඩ්පතක් ද ශුද්ධ වැටුප සාපේක්ෂව වැඩි අගයක් ගනී නම් වැඩි ණය සීමාවකින් යුතු ක්‍රෙඩිට් කාඩ්පතක් ද බැංකුව විසින් ලබා දෙනු ඇත. 

එහෙත් එය එසේම විය යුතුයැයි මුල් බැසගත් නීතියක් නැත. බැංකු කළමනාකාරිත්වයේ තීරණ මත ණය සිමාව වෙනස් විය හැක. අයදුම්කරු වෙත ක්‍රෙඩිට් කාඩ්පතක ස්වරූපයෙන් ලබා දෙන ණය මුදල ආපසු අය කර ගැනීමේ වගකීම / අවදානම (Risk) දැරීමට බැංකුව සුදානම් නම් බැංකු කළමනාකාරිත්වය වැඩි ණය  සීමාවක් සහිත ක්‍රෙඩිට් කාඩ්පතක් නිකුත් කරනු ඇත. තීරණය බැංකුව සතුය.


එහෙත් මතක තබා ගන්න. ඉහල ණය සීමාවක් යනු ඔබට ලැබුණු වටිනා තිළිණයක් නොවේ. එය වැඩි අවදානමකි. අඩු ණය සිමාවක් නිරන්තරයෙන් ඔබගේ වියදම් සිමා කරයි. එය ඔබට වාසි දායකය. 


ඇතැම් බැංකු ශුද්ධ වැටුප මත ලබා දෙන ණය සීමාව තීරණය නොකරයි. ඔවුන් සැලකිල්ලට ගන්නේ දල වැටුපයි. වෙනත් දීමනා හා අඩු කිරීම් මාසයෙන් මාසයට වෙනස් විය හැකි නිසා එහිදී ස්ථාවර අගයකින් යුතු දළ වැටුප මත, ලබා දෙන ක්‍රෙඩිට් කාඩ්පතේ ණය සිමාව තීරණය කරනු ලැබේ.

රැකියාවේ වැටුප මත ණය සීමාව තීරණය කිරීමේදී තවත් අතිරේක සාධක බැංකු කළමනාකාරිත්වය මඟින් සැලකිල්ලට ගනු ලැබේ. නිදසුනක් ලෙස ඔබ ස්ථිර රැකියාවක නියුතු නම් ඉහළ ණය සීමාවක් අපේක්ෂා කළ හැක. කොන්ත්‍රාත් පදනම වැනි රැකියාව ස්ථිර නොමැති අවස්ථාවලදී පහල ණය සීමාවක් හිමි විය හැක. ඇතැම් විට ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්පත ප්‍රතික්ෂේප විය හැක.

එසේම ඔබගේ රැකියාවට වත්මන් සමාජයේ  වැඩි පිළිගැනීමක් පවතීනම් ඉහළ ණය සීමාවක් අපේක්ෂා කළ හැක. පිළිගනිම අඩු නම් පහල ණය සීමාවක් හිමි විය හැක. ඇතැම් විට ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්පත ප්‍රතික්ෂේප විය හැක.



එහෙත් මේ කිසිවක් න්‍යායාත්මකව පිළිපැදීමක් බැංකු සිදු නොකරයි. අවසන් තීරණය බැංකුව සතුය. මෙම ක්‍රමයට අනුව ක්‍රෙඩිට් කාඩ් පතක් අයදුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි පිළිබඳව දැනුවත් වීමද ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.
 

ඔබ නියැලී සිටින ව්‍යාපාරයේ පිරිවැටුම මත අයදුම් කිරීම. (applying on business)

මෙහිදී සළකා බැලෙන ප්‍රධාන කාරණා කිහිපයකි. ඉන් එකක් වන්නේ ඔබගේ ව්‍යාපාරයේ ආදායම (revenue) හා වියදමයි (expense). බැංකුවක්  විසින් මෙය තීරණය කරනු  පිණිස ඔබගේ ව්‍යාපාරයේ නමින් ජංගම ගිණුමක් (current account) තිබිය යුතුය. 

ඉතිරි කිරීමේ ගිණුම් (savings) මත සාමාන්‍යයෙන් ව්‍යාපාරයක අදායම වියදම තීරණය නොකෙරේ. නොයෙකුත් සංගම්, සංවිධාන, සමාජ සේවා සඳහා ඉතිරි කිරීමේ ගිණුම් විවෘත කළත් ව්‍යාපාරයක් නමින් ඉතිරි කිරීමේ ගිණුම් විවෘත කරන අවස්ථා විරලය.

බැංකුව විසින් ඔබගේ ජංගම ගිණුම ක්‍රියාත්මක (activity) වන ආකාරය නිරීක්ෂණය කරනු ඇත. අයිරා පොලි (over draft) සහ වෙනත් ගාස්තු (fees) ප්‍රමාදයකින් තොරව ගෙවීම් කර තිබීම, චෙක්පත් අගරු වීමේ (cheque return) අඩු ප්‍රවණතාව, තැන්පතුවල මාසික සාමාන්‍ය රුපියල් වටිනාකම (average monthly rupee value), හරකිරීම් වල මාසික සාමාන්‍ය රුපියල් වටිනාකම  බැංකුවේ පැරණි ගනුදෙනුකරුවෙක් වීම, වැනි කරුණු මෙහිදී සැළකිල්ලට ගනු ලැබේ. 


(මෙම යෙදුම් ඇතැම්විට ඔබට වටහා ගැනීමට අපහසු විය හැක. ඔබට ඇති ගැටළු වම්පස කුඩා පණිවිඩ කොටුවේ සරලව කෙටියෙන් සඳහන් කොට අප වෙත එවන්න. අපි ඔබට හැකි සෑම අයුරකින්ම සහය වෙමු) 

මෙම ක්‍රමයට අනුව ක්‍රෙඩිට් කාඩ් පතක් අයදුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි පිළිබඳව දැනුවත් වීමද ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.


ඔබගේ තැන්පතු මත අයදුම් කිරීම.  (applying on a deposit)

ඉහත ක්‍රම දෙකටම ඔබට ණය කාඩ්පතක් ඉල්ලුම් කිරීමට නොහැකි වන අවස්ථා ඇත. ඔබ ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක් නම්, ඔබ බෙහෙවින් වයෝවෘද්ධ නම්, ඔබ සතුව ව්‍යාපාරයක් නොමැති නම්, ඔබ රැකියා විරහිත නම්, ඔබගේ අයදුම්පත කුමන හෝ ක්‍රමයකින් දැනටමත් ප්‍රතික්ෂේප වී ඇත්නම්, ඔබට ඇති එක් විකල්ප ක්‍රමයක් ලෙස තැන්පතු මත අයදුම් කිරීම  හැඳින්විය හැක.

මෙහිදී සිදු වන්නේ ඔබ ක්‍රෙඩිට් කාඩ්පත අයදුම් කරන බැංකුවේම කුමන හෝ ශාඛාවක කුමන හෝ වර්ගයක ගිණුමක් විවෘත කිරීමයි. එම ගිණුමට ඔබ බලාපොරොත්තු වන ණය සිමාවෙන් 110% තැන්පත් කිරීම සිදු කල යුතුය. 

නිදසුන් ලෙස ඔබට අවශ්‍ය වන්නේ රු. 10,000ක ණය සීමාවකින් යුතු කාඩ්පතක් යැයි සිතමු. රු. 10,000 න් 110% ක් ගණනය කර බලන්න. 10,000x (110/100) ලෙස සැළකු විට පිළිතුර රු 11,000කි. එහෙත් මෙම අනුපාතය වෙනස් විය හැක. ඇතැම් විට 110% ක තැන්පතුවක් වෙනුවට 125% ක තැන්පතුවක් බැංකුව විසින් නියම කිරීමට ඉඩ ඇත. එය බැංකු කළමනාකාරීත්වයේ තීරණයයි. ඔබටත් මටත් කළ හැකි දෙයක් නැත.

දෙවන පියවර වන්නේ එම තැන්පතු මුදල බැංකුව විසින් නියඳ කිරීමයි (freeze). එහි අදහස වන්නේ ඔබට නිකුත් කරන ක්‍රෙඩිට් කාඩ්පත භාවිතා කෙරෙන තාක් කල් ඔබගේ තැන්පතු මුදල් ඔබට ලබා ගත නොහැකි බවයි. ගිණුමේ මුදල් ලබා ගැනීමට අවශ්‍ය නම් ක්‍රෙඩිට් කාඩ්පත ස්ථිරව අවලංගු කොට යලි බැංකුවට භාර දිය යුතුය (surrender).

එසේම ඔබ මෙසේ ලබා ගන්නා ක්‍රෙඩිට් කාඩ්පතකින් ගනුදෙනු කරන විට එම භාවිතා කරන ණය ප්‍රමාණය වෙනම බැංකුවට ආපසු ගෙවීම් (pay back) කල යුතුය. ණය පියවීම ඔබ විසින් සිදු කළ  යුතුය. නියඳ කොට ඇති ඔබගේ තැන්පතු මුදල් මඟින් ඔබගේ ණය පියවීමක් සිදු නොවේ. එහෙත් එය ඔබගේ තැන්පතුවක් නිසා එයට පොලී එකතු වීමට (interest accumulation) බාධාවක් නොමැත. පොලිය ප්‍රමානවත්නම් එමඟින් කාඩ්පතේ ණය මුදල පියවීමේ විශේෂ වැඩ පිළිවෙලක් (special arrangement) බැංකුවේ තීරණයට යටත්ව ඇතැම්විට සලසා ගත හැකි වනු ඇත.

මෙම ක්‍රමයට අනුව ක්‍රෙඩිට් කාඩ් පතක් අයදුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි පිළිබඳව දැනුවත් වීමද ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත. 



No comments:

Post a Comment

මෙම බ්ලොග් අඩවිය ඔබට යම් ආකාරයක අත්වැලක් වී නම් ඉහත දැක්වෙන ඕනෑම social network එකක් හරහා ඔබගේ මිතුරන් අතර share කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබට සේම ඔවුන්ටද මෙම බ්ලොග් අඩවිය ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.

ඔබ අපේක්ෂා කල තොරතුරු මෙහි අඩංගු නොවේ නම් කරුණාකර අපට දන්වන්න. හැකි සෑම අයුරකින්ම අපි ඔබ දැනුවත් කිරීමට සහය වෙමු.

ඔබට මෙම බ්ලොග් අඩවියේ යාවත්කාලින කිරීම් updates පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වීම (RSS feeds) අවශ්‍ය නම් ඉහත Posts (Atom) භාවිතා කිරීම වඩා සුදුසුය.



අමතර වදනක්...
ඔබගේ බැංකුව සමඟ ඔබ සවිමත් සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීම ඔබට බෙහෙවින් වාසිදායකය.
ඔබ විසින් බැංකුව වෙත ඉදිරිපත් කරන ලිඛිත ඉල්ලීම් මේ සඳහා ඔබට උපකාරී වන එක් වැදගත් සාධකයකි.

එහි වැදගත්මක අවබෝධකරගත් අප විසින් ඒ වෙනුවෙන්ම වෙනම විශේෂ බ්ලොග් පිටුවක් ආදරණිය ඔබ වෙනුවෙන් සකස් කර ඇත්තෙමු. නොමිලේ ඔබ වෙත සැපයෙන මෙම PDF ලිපි බාගත කරගෙන එයින් මුද්‍රිත පිටපත් ලබාගෙන ඔබගේ බැංකු කටයතු වඩාත් පහසුවෙන් හා ආකර්ශණියව ඉටු කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ දැක්ම

ශ්‍රී ලංකාව තුළ හා ඉන් බැහැරව ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන්ගේ හදවතට වඩාත් සමීප වෘත්තිමය බ්ලොග් අඩවිය බවට පත් වීම.


අපගේ මෙහෙවර

ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඒ ආශ්‍රිත ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව උනන්දුවක් දක්වන, අන්තර්ජාලයේ ඔබමොබ සැරිසරන, නීතිගරුක, විභව ගනුදෙනුකරුවන් හා සේවාදායකයන් හැකිතාක් අප වෙත ආකර්ෂණය කර ගනිමින්, උපදේශනය, දැනුවත් කිරීම, ව්‍යාපාරික හා රාජකාරි කටයුතු සඳහා ලිපි ලේඛණ සකස් කිරීම ආදී සේවා රැසක් ඔවුන් වෙත කඩිනමින් හා නිරවද්‍යව ලබා දෙමින්, ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂේත්‍රය මුළුමනින්ම නැවුම් යුගයක් කරා වහ වහා රැගෙන යන්නෙමු.