කාඩ්පත් යන්ත්‍ර


බොහෝ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර කටයුතු සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් යන්ත්‍ර (POS යන්ත්‍ර) යොදා ගැනීමට වැඩි කැමැත්තක් දක්වති. POS යන්ත්‍රයක් හරහා සිදු කෙරෙන සෑම කාඩ්පත් ගනුදෙනුවක් සඳහාම යම් කොමිස් මුදලක් එම කාඩ්පත් යන්ත්‍රය සතු බැංකුව වෙත ගෙවීමට සිදු වුවත් එහි ඇති පහසුව, ආරක්ෂාව, වේගය, නිරවද්‍යභාවය වැනි වාසි රැසක් මෙම යන්ත්‍ර හරහා ව්‍යාපාරිකයාට හිමි වීම මෙයට හේතුවයි.

ඇත්තෙන්ම මේ POS යන යෙදුමේ අරුත Point Of Sale යන්නයි. එනම් යම් භාණ්ඩයක් හෝ සේවාවක් විකිණීම සිදුවන සංධිස්ථානයයි. වෙළෙඳ සාප්පුවකින් ඔබ භාණ්ඩ මිළදී ගෙන එම භාණ්ඩ සඳහා මිළ ගෙවීම සඳහා ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත ඉදිරිපත් කරන කවුන්ටරය එවන් විකිණීමක් සිදුවන සංධිස්ථානයකි. එම කවුන්ටරයේදී ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතින් එම වෙළෙඳසැල ඔබගේ ගෙවීම භාර ගන්නේ POS යන්ත්‍රයක් හරහාය. 

POS යන්ත්‍රයක් වෙළෙඳසැලට ලබා ගත හැක්කේ එවන් යන්ත්‍රයක් නිකුත් කිරීමට බලපත්‍රයක් ඇති බැංකුවක් වැනි මූල්‍ය ආයතනයක් හරහාම පමණෙකි. මන්ද යත් එය හුදු යන්ත්‍රයක් පමණක් ම නොවන නිසා වෙනි. ඇත්ත වශයෙන්ම POS යන්ත්‍රයක් යනු ලොව පුරා වෙළෙඳ ආයතන, ගනුදෙනුකරුවන්, මූල්‍ය ආයතන ඔබගේ ව්‍යාපාරය හා සම්බන්ධ කරවන ජාත්‍යන්ත ර පිළිගැනීමක් සහිත, දත්ත ආරක්ෂාව ඉහළ, සුවිශේෂී කුඩා ප්‍රමාණයේ පරිඝණකයකි.    

මෙවන් යන්ත්‍රයක් හරහා ඔබට ඔබගේ ව්‍යාපාරය Visa, Mastercard, Amex වැනි ජාත්‍යන්ත ර ගෙවීම් හා පියවීම් (Payments & Settlements) සේවා ජාල Service Networks එකකට හෝ කිහිපයකට සම්බන්ධ කල හැක. එවිට එම සේවා ජාල හා සම්බන්ධිත ක්‍රෙඩිට් කාඩ්පත් රැගෙන ඔබ වෙත පැමිණෙන ගනුදෙනුකරුවන්ගෙන් ඔබට ගෙවීම් භාර ගත හැක. 

නිදසුනක් ලෙස ඔබ රෙදිපිළි ව්‍යාපාරයක් පවත්වා ගෙන යන්නේ යැයි සිතමු. ඔබ ඔබගේ බැංකුව හරහා එම රෙදිපිළි වෙළඳසැලට POS යන්ත්‍රයක් ලබා ගෙන ඇත. ඔබගේ බැංකුව එම POS යන්ත්‍රය මඟින් ඔබට Visa සේවා ජාලය භාවිතා කර ගෙවීම් භාර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

ඔබ වෙත පැමිණෙන ගනුදෙනුකරුවෙකු රු 10,000ක රෙදි මිළදී ගනී. ඔබ වෙත ගෙවීම් කිරීම සඳහා  ඔහු ළඟ ඇත්තේ Mastercard සේවා ජාලයට සම්බන්ධ ක්‍රෙඩිට් කාඩ්පතකි. එයින් ඔබට ගෙවීම් භාර ගත නොහැක. ගනුදෙනුව සිදු කළ හැක්කේ Visa ක්‍රෙඩිට් කාඩ්පතක් හරහා පමණක්ම ය.

මේ හේතුවෙන් බොහෝ ව්‍යාපාරිකයින් තම POS යන්ත්‍රය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සියලුම ජාත්‍යන්ත ර ගෙවීම් හා පියවීම් සේවා ජාල Service Networks සමඟ සම්බන්ධ වීමට උත්සුක වෙති. 

කාඩ්පත් හිමියන්ද එසේම ය; සෑම සේවා ජාලයකටම අයත් කාඩ්පතක් තමා ලඟ තිබීමෙන්, එක් සේවා ජාලයක් බිඳ වැටුනොත් අනෙකක් භාවිතා කිරීමට හැකි වීම නිසා අනවශ්‍ය ප්‍රමාද වීම් වළකාගත හැකි හෙයිනි.

සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.