සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

ගනුදෙනු කිරීම



ක්‍රෙඩිට් කාඩ්පතකින් ගනුදෙනු කිරීම පහත දැක්වෙන පරිදි ප්‍රධාන ආකාර තුනකින් සිදු විය හැකිය 
  1. අන්තර් ජාලය හරහා සිදුවන ගනුදෙනු (internet transactions) 
  2. වෙළෙඳ ස්ථානවල පවතින POS යන්ත්‍ර හරහා සිදුවන ගනුදෙනු  (POS transactions)
  3. බැංකු විසින් පවත්වාගෙන යනු ලබන ATM යන්ත්‍ර හරහා සිදුවන ගනුදෙනු  (ATM transactions)

තේරුම් ගැනීමේ පහසුව පිණිස මේ එකිනෙකක් වෙන වෙනම සලකා බලමු.


අන්තර් ජාලය හරහා සිදුවන ගනුදෙනු (internet transactions) 



මෙම ගනුදෙනු සඳහා ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත කිසිවෙකුටවත් ඉදිරිපත් කිරීමක් සිදු නොවේ. ක්‍රෙඩිට් කාඩ්පතේ සඳහන් තොරතුරු අන්තර් ජාලයට සම්බන්ධ යම්කිසි උපකරණයක් (ස්මාට් ජංගම දුරකථනයක්, ලැප්ටොප් හෝ පාම්ටොප් පරිඝනක) හරහා යම්කිසි වෙබ් අඩවියකට ඇතුළත් කිරීම මඟින් පමණක් මෙම ගනුදෙනු සිදු කෙරෙනු ඇත.

මෙවැනි ගනුදෙනු සිදු කිරීමට පෙර යම් වෙබ් අඩවියකට ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ සඳහන් තොරතුරු ඇතුළත් කිරීම තුළ ඇති අවදානම් ස්වභාවය ඔබ විසින් තේරුම් ගත යුතු වේ.  ඇතැම් වෙබ් අඩවිවලට ඔබගේ තොරතුරු සොරා ගැනීමේ හැකියාවක් ඇත. එසේ ඔබගෙන් සොරාගත් තොරතුරු භාවිතා කර ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ ගිණුමටම සම්බන්ධ කර, එයටම වියදම් එකතු වන ආකාරයට වෙනත් ව්‍යාජ කාඩ්පත් සකස් කිරීමට ද ඔවුන්ට පුළුවන.  

මේ හේතුවෙන් අන්තර් ජාලයේ හරහා ගනුදෙනු කිරීමේදී ප්‍රථමයෙන්ම ඔබ ගනුදෙනු කිරීමට සැරසෙන වෙබ් අඩවිය පිළිබඳව යම්කිසි මට්ටමක කරුණු සොයා බැලීමක් ඔබ විසින් සිදු කිරීම වඩාත් සුදුසුය. උදාහරණයක් ලෙස Aitubo නැමති වෙබ් අඩවිය සළකමු. එය AI තාක්ෂණය භාවිතා කර විවිධ මාදිලියේ සිතුවම් සහ ජායාරූප  ජනනය කර දෙන වෙබ් අඩවියකි. 

Google Search Bar හි "Is Aitubo safe for credit card payments" යන්න type කර බැලීමෙන් ඔබට එම වෙබ් අඩවිය තුල ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු සිදු කිරීම ආරක්ෂාකාරිද නැද්ද යන්න පිළිබඳව යම් අදහසක් ලබා ගත හැකි වනු ඇත. යම් ආකාරයේ වංචා ක්‍රියා සිදු වී ඇත්නම් ඒවාට මුහුණදුන් ගනුදෙනුකරුවන් අන්තර් ජාලයේ පළ කර ඇති අදහස් (reviews) සහ අනතුරු ඇඟවීම් (warnings) යනාදියද ඔබට දැක ගත හැකි වනු ඇත



වෙළෙඳ ස්ථානවල පවතින POS යන්ත්‍ර හරහා සිදුවන ගනුදෙනු  (POS transactions)




වෙළෙඳසැලකින් භාණ්ඩ මිළදී ගැනීමේදී ඔබගේ ක්‍රෙඩිට් කාඩ් පත ඉදිරිපත් කර සිදු කරන ගෙවීම් මෙම ක්‍රමයට ඇතුළත් ය. මුල් කාලයේදී මෙවන් ගෙවීම් කිරීමකින් අනතුරුව වෙළෙඳසැල මඟින් ඔබ වෙත customer copy සහ merchant copy වශයෙන් රිසිට්පත් දෙකක් නිකුත් කෙරිණි. Merchant copy මත ඔබගේ අත්සන යොදා එය වෙළෙඳ සැල වෙත නැවත භාර දිය යුතු විය. 

ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත අන් අයෙකු විසින් භාවිතා කළහොත් ඇතිවිය හැකි නෛතික ගැටළු ආවරණය කර ගැනීම සඳහා මෙම ක්‍රමය එකල අනුගමනය කළත් CCTV තාක්ෂණයේ දියුණුව නිසාදෝ දැන් ඒ ආකාරයට ඔබගේ අත්සන ලබාගැනීම අභාවයට ගොස් ඇත.    

මෙවන් අවස්ථාවකදී ඇති එක් අවදානමක් වන්නේ ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතින් ගෙවීම් භාර ගැනීමට ඉදිරිපත් වන අදාළ වෙළෙඳසැලේ කාර් ය මණ්ඩලය විසින් එම ගනුදෙනුව සිදු කිරීමේදී පහත දැක්වෙන ආකාරයේ අත් වැරදීම් සිදුවීමට ඇති ඉඩකඩයි.  
  1. එකම ගනුදෙනුව දෙවරක් සිදු කිරීම 
  2. ගනුදෙනුව සිදු කිරීමේදී වැරදි මුදලක් ඇතුළත් කිරීම 
ගනුදෙනුව සිදු කිරීමෙන් පසු ඔබගේ ජංගම දුරකතනයට ඔබගේ බැංකුව හරහා ලැබෙන කෙටි පණිවිඩය, ඊ - මේල් පණිවිඩය, හෝ වෙළෙඳ සැල මඟින් ඔබ වෙත ලබා දෙන POS ගනුදෙනුවට අදාළ customer copy රිසිට්පත සැළකිල්ලෙන් පරික්ෂා කිරීම මඟින් මෙම අවදානම මඟ හරවා ගත හැකිය. 


බැංකු විසින් පවත්වාගෙන යනු ලබන ATM යන්ත්‍ර හරහා සිදුවන ගනුදෙනු  (ATM transactions)




ඔබගේ බැංකුව විසින් ඔබට නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පතට යම් ණය සීමාවක් (රුපියල් 100,000 ක්) ලබා දී ඇතැයි සිතමු. මෙම රුපියල් 100,000 ක ණය ප්‍රමාණය ඔබ භාවිතා කරන්නේ ඉලෙක්ට්‍රොනික ස්වරූපයෙනි. එනම් මෙමඟින් ඔබට භාණ්ඩ හා සේවා සඳහා ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් ගෙවීම් කළ හැක.

ඇතැම් බැංකු ඔබගේ මෙම ණය ප්‍රමාණයෙන් යම් කොටසක් ATM යන්ත්‍ර හරහා මුදල් නෝට්ටු ලෙස ලබා ගැනීමේ හැකියාව ඔබට සලසා දෙනු ඇත.  ඔබ භාවිතා කරන ක්‍රෙඩිට් කාඩ්පත නිකුත් කල බැංකුවටම අයත් ATM යන්ත්‍රයකින් හෝ වෙනත් බැංකුවකට අයත් ATM යන්ත්‍රයකින් ඔබට මෙසේ මුදල් අත්තිකාරම් (cash advances) නෝට්ටු ලෙස ලබා ගත හැක.

එහෙත් එය යම් යම් සීමා කිරීම් සහිතය. ඉහත රුපියල් 100,000ක ණය සීමාව සහිත ක්‍රෙඩිට් කාඩ්පත සැළකුවහොත් ඔබ එම මුළු ණය ප්‍රමාණයම මුදල් අත්තිකාරම් (cash advances) ලෙස ලබා ගැනීම බොහෝ බැංකු විසින් අවහිර කෙරෙනු ඇත. ඔබට ලබා ගැනීමට ඉඩ සැලසෙනු ඇත්තේ ඉන් යම් ප්‍රමාණයක් පමණි. උදාහරණ ලෙස ණය සීමාවෙන් 40%ක් එනම් රු 40,000ක් පමණි. 

එපමණක් නොවේ. ඔබ මෙසේ ලබා ගත් රුපියල් 40,000ක අත්තිකාරම් මුදල පසු දිනම ඔබ නැවත ඔබගේ බැංකුවටම ගෙවීම් කළේ යැයි සිතමු. එහෙත් ඇතැම් බැංකු වලින් ඔබට යලිත් එම රුපියල් 40,000ක මුදල් අත්තිකාරම නැවත ලබා ගත හැකි වන්නේ යම් කාල සීමාවකට පසුය. එය මාස 2 ක් විය හැක. දින 45 ක් විය හැක. හෝ බැංකුව තීරණය කරන කාලයක් විය හැකිය.

තවත් බරපතල කරුණක් ඇත. එනම් අනෙකුත් ගනුදෙනු මෙන් නොව මුදල් අත්තිකාරම් සඳහා එය ලබා ගත් දිනයේ සිටම පොලී අය වීම ආරම්භ වීමයි. 

ඉහත රුපියල් 40,000ක මුදල ඔබ ලබා ගත්තේ ඔක්තෝබර් මස 10 වෙනි දා යැයි සිතමු. ඔබ 15 වෙනිදා ඉන් රුපියල් 20,000ක් නැවත ඔබගේ බැංකුවට ගෙවයි. 23 වෙනිදා ඉතිරි රුපියල් 20,000 පියවයි. මුදල් අත්තිකාරම සඳහා බැංකුවේ මාසික පොලී අනුපාතය 3%ක් නම් ඔබට පොලී අයවන්නේ කෙසේද?

ඔක්තොබර් 10වෙනිදා සිට 15 වෙනිදා දක්වා ඔබගේ මුදල් අත්තිකාරම් ණය ශේෂය = රු 40,000

රුපියල් 40,000 ක ණය මුදල ඔබ භුක්තිවිඳි කාලය (ඔක්තොබර් 10වෙනිදා සිට 15 වෙනිදා දක්වා) = දවස් 5 යි

මාසික පොලී අනුපාතය = 3%

දිනක පොලී අනුපාතය = 3% / 30

රුපියල් 40,000 සඳහා දිනකට පොලිය = 40,000 x (3% / 30)

ඒ අනුව දින 5 කට පොළිය = 5 x 40,000 x (3% / 30)

= රුපියල් 200

දින 5 කට පසුව ඔබ ගෙවීම් කරන්නේ ලබා ගත් මුළු මුදල් අත්තිකාරමින් රුපියල් 20,000ක් පමණි. තවත් රුපියල් 20,000ක ණය ශේෂයක් ඔක්තෝබර් 15 සිට 23 දක්වා ඉදිරියට ඇදී යයි. ඒ සඳහා ද පොලී ගණනය වේ. 

ඔක්තොබර් 15වෙනිදා සිට 23 වෙනිදා දක්වා ඔබගේ මුදල් අත්තිකාරම් ණය ශේෂය = රු20,000

රුපියල් 20,000 ක ණය මුදල ඔබ භුක්තිවිඳි කාලය (ඔක්තොබර් 15වෙනිදා සිට 23 වෙනිදා දක්වා) = දවස් 8 යි

මාසික පොලී අනුපාතය = 3%

දිනක පොලී අනුපාතය = 3% / 30

රුපියල් 20,000 සඳහා දිනකට පොලිය = 20,000 x (3% / 30)

ඒ අනුව දින 8 කට පොළිය = 8 x 20,000 x (3% / 30)

= රුපියල් 160

ඒ අනුව රුපියල් 40,000 මුදල් අත්තිකාරම් සඳහා ඔබ ගෙවිය යුතු මුලු ණය පොලිය = 200+160 = රුපියල් 460 යි

අපගේ උදාහරණයට අනුව නම් ඔබට මේ පොළී මුදල එතරම් විශාල අගයක් නොවිය හැකිය. එහෙත් ඔබ ලබා ගන්නා අත්තිකාරම් මුදලේ විශාලත්වය සහ එම මුදල ඔබ නොගෙවා සිටින දින ගණන අනුව තත්වය බැරෑරුම් විය හැකිය. ඒ නිසා ඔබගේ ආර් ථික රටාවට ගැලපෙන පරිදි මුදල් අත්තිකාරම් ලබා ගැනීම වඩාත් සුදුසුය. 

ATM ගනුදෙනු සඳහා වෙනම මුදල් අත්තිකාරම් ගාස්තු (cash advance fees) අය වීම ද සිදු වේ. මෙය බැංකුව විසින් තීරණය කරන නියමිත ගාස්තුවක් හෝ මුදල් අත්තිකාරමින් යම් ප්‍රතිශතයක් විය හැක. 

නිදසුනක් ලෙස ඇතැම් බැංකු ඔබ ලබාගන්නා මුදලට යම් සීමාවක් දක්වා අය කරන්නේ ස්ථාවර ගාස්තුවකි (flat amount). එම සීමාව ඉක්මවූ  පසු අය වන්නේ ප්‍රතිශයකි.

හෙවත් රු 7000ක් දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 300 කි. 7200ක් වුව හොත් ගස්තුව මුදල් අත්තිකාරමින් 6%ක් වනු ඇත. එවිට ගාස්තුව රු. 432 කි.



ATM යන්ත්‍ර හරහා සිදුවන ගනුදෙනු  (ATM transactions) ආරක්ෂක පිළිවෙත් සහ ආචාර ධර්මතා

ATM ගණුදෙනු ක්‍රෙඩිට් කාඩ්පතක් මඟින් සිදු කෙරෙන සරලම (simplest) ගණුදෙනු වර්ගයකි. කොතරම් සරල වුවත් එම ගණුදෙනු සඳහාද ඔබ විසින් පිළිපැදිය යුතු ආරක්ෂක පිළිවෙත් (security procedure) සහ ආචාර ධර්මතාවයන් (ethics) පවතී. ඒවායින් කිහිපයක් පහත සඳහන් කරමු. 

  • ඔබට පෙර පැමිණි ගනුදෙනුකරුට ප්‍රමුඛ ස්ථානය (priority) ලබා දීම.
  • ඔබට පෙර පැමිණි ගනුදෙනුකරු ගනුදෙනුව නිමා කරන තෙක් රැඳී සිටීම. (wait)
  • ඔබට පෙර පැමිණි ගනුදෙනුකරු ගනුදෙනුව නිමා කර  පිටව ගිය පසු එම ගනුදෙනුකරු විසින් අදාළ කාඩ්පත අමතක කර දමා ගොස් ඇත්නම් වහාම ඒ පිළිබඳව එම ගනුදෙනුකරු  ගේ අවධානය  යොමු කර වීම (notify). එසේ කිරීමට නොහැකි නම් ළඟම ඇති බැංකු ශාඛාවට එම කාඩ්පත භාරදීම (surrender). 
  • අමතක කර දමා ගොස් ඇති කාඩ්පතකින් කිසි විටෙකත් ගණුදෙනු කිරීමට උත්සාහ  නොකිරීම.
  • ඔබට පෙර පැමිණි ගනුදෙනුකරු ගනුදෙනුව නිමා කර  පිටව ගිය පසු එම ගනුදෙනුකරු විසින් ගනුදෙනුවට අදාල රිසිට්පත යන්ත්‍රයේ නිකුතු විවරයේ (slot) දමා ගොස් ඇත්නම් ඒ පිළිබඳව එම ගනුදෙනුකරුගේ අවධානය යොමු කර වීම. රිසිට්පතේ සඳහන් බැංකු ශේෂය (account balance) නිරීක්ෂණය කිරීමෙන් වැළකීම.
  • ඔබට පෙර පැමිණි ගනුදෙනුකරු ගනුදෙනුව නිමා කර  පිටව ගිය පසු එම ගනුදෙනුකරු විසින් අදාළ ATM යන්ත්‍රයෙන් ලබා ගත යුතු මුදල් නිසි පරිදි ලබා නොගෙන යන්ත්‍රයේ නිකුතු විවරයේ (slot) දමා ගොස් ඇත්නම් ඒ පිළිබඳව එම ගනුදෙනුකරුගේ අවධානය යොමු කර වීම. එසේ කිරීමට නොහැකි නම් ළඟම ඇති බැංකු ශාඛාවට එම මුදල් භාරදීම
  • හැකිතාක් ඉක්මණින් (as quickly as possible) ඔබගේ ATM ගනුදෙනුව සිදු කිරීම.
  • කාඩ්පත යන්ත්‍රයේ සිර වූ අවස්ථාවකදී වගකිව යුතු බැංකු නිලධාරියෙකුගෙන් හැර වෙනත් නාඳුනන පුද්ගලයින්ගේ සහය නොපැතීම. (සමහර විට කාඩ්පත සිර වන ආකාරයට ATM යන්ත්‍රයේ යාන්ත්‍රණය mechanism වෙනස් කොට ඔබට සහය පළ කරමින් ඔබ වෙත පැමිණෙන්නේ විවිධ ආකාරයේ වංචාකරුවන්ය).
  • කිසිම ආකාරයකින් ඔබගේ මුහුණ වසන් වන ආකාරයෙන් කටයුතු කරමින් ATM ගනුදෙනු සිදු නොකිරීම.

සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.