2024/05/09

ඇමරිකානු පාරිභෝගික ආරක්ෂණ කාර් යංශය එරට බැංකු සහ ගුවන් සමාගම් සමඟ හැප්පෙයි


විදෙස් මාධ්‍ය පවසන අන්දමට වලිය ආරම්භ වී ඇත්තේ ඇමරිකානු බැංකු විසින් ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගෙන් අය කරන ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාද ගාස්තු (late fees) පහළ දමන ලෙස එරට පාරිභෝගික මූල්‍ය ආරක්ෂණ කාර් යංශය (Consumer Financial Protection Bureau - CFPB) විසින් නිකුත් කරන ලද නියෝගයත් සමඟය.

යම් බැංකුවක් ඉහළ අගයකින් යුතු ප්‍රමාද ගාස්තුවක් (late fees) ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගෙන් අය කරන්නේ නම් එම අගය සාධාරණීකරණය කළ හැකි හේතු ඔවුන් විසින් දැක්විය යුතුය යන්න, CFPB අදහසයි. 

ඉහළ අගයකින් යුතු ප්‍රමාද ගාස්තු අය කිරීම හරහා ඇමරිකානු බැංකු, පාරිභෝගිකයින්ගෙන් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් අයථා ලෙස උපයා ගෙන ඇති බවට CFPB චෝදනා කරයි.     

ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාද ගාස්තු (late fees) යනු ඔබ විසින් භාවිතා කර ඇති ණය ශේෂයෙන් මාසිකව බැංකුව වෙත ආපසු ගෙවීම් කළ යුතු අවම මුදල නියමිත දිනට නොගෙවා සිටීම මත ඔබට නියම කෙරෙන දඩ මුදලකි. 

ප්‍රමාද ගාස්තු (late fees) සාපේක්ෂව ඉහළ නම් ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන් කලට වෙලාවට ණය පියවති. ප්‍රමාද ගාස්තු අඩු මට්ටමක පවතී නම් ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන් බැංකුවට ඇති ණය පියවීමට එතරම් හදිස්සි නොවෙති.

ඒ අනුව ඇමරිකානු බැංකු විසින් CFPB ලබා දී ඇති නියෝගය දැනටමත් පෙරළා ප්‍රශ්න කර සිටිති. ඔවුන් පවසන්නේ ප්‍රමාද ගාස්තු පහළ දැමීම මඟින් නියමිත දිනට ණය පියවන ගනුදෙනුකරුවන්ට අසාධාරණයක් සිදු වන බවයි. එපමණක් නොව, නියමිත දිනට ණය පියවන ගනුදෙනුකරුවන්ද  මෙම CFPB නියෝගය හේතුවෙන් නියමිත දිනට ණය පියවීමට උත්සුක නොවන තත්වයක් නිර් මානය විය හැකි බවද ඔවුන් පෙන්වා දෙති. 

American Bankers Association සහ U.S. Chamber of Commerce යන ආයතන දෙකම ඇමරිකානු බැංකු විසින් ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධව ලිඛිතව සහය පළ කරමින් නඩු මඟට අවතීර් ණ වී සිටිති.

ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාද ගාස්තු සම්බන්ධයෙන් ඇමරිකානු බැංකු සමඟ හැප්පෙන අතරවාරයේ, ක්‍රෙඩිට් කාඩ්පත් හරහා ඇමරිකානු ගුවන් සමාගම් විසින් ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට ප්‍රදානය කර ඇති ප්‍රතිලාභ වැඩසටහන් (rewards programs) ක්‍රියාත්මක කෙරෙන ආකාරය ද CFPB විවේචනයට ලක් කර තිබේ

මෙම ප්‍රතිලාභ වැඩසටහන්, ඒවා සමඟ ගිවිසුම් ගත වන ගනුදෙනුකරුවන් නොමඟ යවන සුළු බවත්, වටහා ගැනීමට අපහසු ඉතා සංකීර් ණ කරුණු සහ කොන්දේසි වලින් යුක්ත බවත්, ගනුදෙනුකරුවන්ට හිමිවිය යුතු ප්‍රතිලාභ පවා ඔවුන්ට අහිමි කරවන බවත් CFPB විසින් අනාවරණය කර ගෙන තිබේ.  

එහෙත් ගුවන් සමාගම් පවසන්නේ මෙම ප්‍රතිලාභ වැඩසටහන් ගුවන් මඟින් අතර ඉතාමත්ම ජනප්‍රිය බවත්, එමඟින් ඔවුන් තම වියදම් කළමනාකරණය කර ගැනීමට සමත් වී ඇති බවත්, ප්‍රතිලාභ වැඩසටහන් රාශියක් නිරන්තරයෙන් එකවර ක්‍රියාත්මක වන නිසා ඇතිවන තරඟකාරීත්වය මත ඉතා ලාභදායි ම, ගැළපෙනම සහ සුදුසුම ප්‍රතිලාභ වැඩසටහන් තෝරා ගැනීමට ගුවන් මඟින් ට නිදහස හිමි වී ඇති බවත් ය.

ප්‍රමාද ගාස්තු සම්බන්ධව හෝ ප්‍රතිලාභ වැඩසටහන් සම්බන්ධයෙන් තමන්ට අසාධාරණයක් වී ඇතැයි හැඟෙන්නේ නම් ඒ බව දැනුම් දීමට ඇමරිකානු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් විශේෂ වෙබ් පිටුවක් CFPB විසින් මේ වන විටත් හඳුන්වා දී ඇත.  

අපිට නම් ඉතින් ඔහොම ගැටළු නැහැ නේද. ඒ වුනාට කෝකටත් ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය සම්බන්ධ කර ගත හැකි ලින්ක් එකක් මේ සමඟ තබන්නම්. හදිස්සියකට ඕන වෙන්නත් පුළුවන්නෙ.

Visa සහ Mastercard සේවා ගාස්තු නැවත ඇමරිකානු වෙළෙඳ සංගම් වෙත ගෙවීම් කිරීම 2024 මැයි 31 වෙනිදායින් අවසන් අදට වසර විස්සකට ආසන්න කාලයකට ඉහතදී, එනම් 2005 වසරේදී, Visa, Mastercard සේවා ජාල සහ තවත් ප්‍රමුඛ පෙළේ ඇමරිකානු බැංකු කිහිපයකට (JPMorgan Chase & Co., Citigroup Inc. and Bank of America Corp) එරෙහිව ඇමරිකානු වෙළෙඳ සංගම් 4 ක් (National Association of Convenience Stores, the National Association of Chain Drug Stores, the National Community Pharmacists Association, National Cooperative Grocers Association) විසින් එක්තරා නඩුවක් ගොණු කළහ. ඔවුන්ගේ චෝදනාව වූයේ Visa, Mastercard සේවා ජාල සහ ඔවුන්ගේ සහයක බැංකු, සේවා ඒකාධිකාරයක් (monopoly) පවත්වා ගනිමින්, තම වෙළෙඳ ස්ථානවලින් අසාධරණ ලෙස සේවා ගාස්තු අය කරන බවයි...