2024/05/09

Visa සහ Mastercard සේවා ගාස්තු නැවත ඇමරිකානු වෙළෙඳ සංගම් වෙත ගෙවීම් කිරීම 2024 මැයි 31 වෙනිදායින් අවසන්

ඉහත සිරස්තලය වෙත පසුගිය දින කිහිපය තුලම විදෙස් මාධ්‍ය ගණනාවකගේ අවධානය යොමු වී තිබූ හෙයින් එහි පසුබිම මඳක් පරික්ෂා කර, සිද්ධිය සරලව ඔබ වෙත රැගෙන එන්නට සිතු වෙමු. 

අදට වසර විස්සකට ආසන්න කාලයකට ඉහතදී, එනම් 2005 වසරේදී, Visa, Mastercard සේවා ජාල සහ තවත් ප්‍රමුඛ පෙළේ ඇමරිකානු බැංකු කිහිපයකට (JPMorgan Chase & Co., Citigroup Inc. and Bank of America Corp) එරෙහිව ඇමරිකානු වෙළෙඳ සංගම් 4 ක් (National Association of Convenience Stores, the National Association of Chain Drug Stores, the National Community Pharmacists Association, National Cooperative Grocers Association) විසින් එක්තරා නඩුවක් ගොණු කළහ. ඔවුන්ගේ චෝදනාව වූයේ Visa, Mastercard සේවා ජාල සහ ඔවුන්ගේ සහයක බැංකු, සේවා ඒකාධිකාරයක් (monopoly) පවත්වා ගනිමින්, තම වෙළෙඳ ස්ථානවලින් අසාධරණ ලෙස සේවා ගාස්තු අය කරන බවයි. 

උදාහරණයක් ලෙස Visa, Mastercard සේවා ජාල සහ ඔවුන්ගේ සහයක බැංකු විසින් ස්ථාපිත කර ඇති POS යන්ත්‍ර මඟින් ගෙවීම් භාර ගත හැකි ඇමරිකානු වෙළෙඳ ස්ථානයකින් ඔබ ඇමරිකානු ඩොලර් 100ක භාණ්ඩයක් ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත ඉදිරිපත් කර ලබා ගත්තා යැයි සිතමු. 

ඔබ මෙහිදී ඇමරිකානු ඩොලර් 100ක මුදල ඔබගේ අතැති මුදලින් ගෙවීම් කිරීමක් සිදු නොකරයි. සිදු වන්නේ ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ භාවිතා කර ඇති ණය ශේෂය (outstanding balance) ඩොලර් 100 කින් ඉහළ යාම පමණකි. වෙළෙඳ ස්ථානය වෙත ඩොලර් 100ක මුදල ගෙවීම් සිදු කරන්නේ POS යන්ත්‍රය ස්ථාපිත කරන ලද ඇමරිකානු බැංකුව විසිනි. මෙම ගෙවීම් කිරීම සාමාන්‍යයෙන් ගනුදෙනුව සිදු කළ දවස අවසානයේ (end of day) හෝ ඊට පසු දින (next business day) වෙළෙඳ ස්ථානය වෙත එම බැංකුව විසින් ප්‍රේෂණය (remit) කරනු ලැබේ.

එහෙත් ඔබ විසින් සිදු කරන ලද ඇමරිකානු ඩොලර් 100ක ගනුදෙනුවට අදාල ඩොලර් ප්‍රමාණය එම ඇමරිකානු වෙළෙඳ ස්ථානයට ප්‍රේෂණය කෙරෙන්නේ, බැංකුව විසින් යම්කිසි කොමිස් මුදලක් අය කර ගැනීමෙන් අනතුරුවය. (ලංකාවෙත් එසේමය). 

මෙම කොමිස් මුදල සාමාන්‍යයෙන් අදාළ වෙළෙඳ ගනුදෙනුවෙන් 1% ක සිට 3% දක්වා විය හැකිය. 1% ක් නම් ඔබ විසින් සිදු කරන ලද ඩොලර් 100ක ගනුදෙනුවට අදාලව එම වෙළෙඳ ස්ථානයට ප්‍රේෂණය කෙරෙන්නේ ඩොලර් 99 කි. 3% ක් නම් ඩොලර් 97 කි. 

ඔබ විසින් සිදු කරන ලද ඩොලර් 100ක ගනුදෙනුවට අදාලව ඒ ඇමරිකානු බැංකුව විසින් ඩොලර් 3 ක කොමිස් මුදලක්  අය කර ගැනීමෙන් පසු ඩොලර් 97 ක් ඒ ඇමරිකානු වෙළෙඳ ස්ථානයට ලබා දුන්නා යයි සිතමු. ඇත්තටම ඒ ඇමරිකානු බැංකුව ඒ ඩොලර් 3 භාවිතා කරන්නේ කුමක් සඳහාද? 

ප්‍රථමයෙන්ම ඔවුන් විසින් Visa, Mastercard සේවා ජාල වෙත අන්තර් හුවමාරු ගාස්තු (Interchange Fee) ගෙවිය යුතු වේ. ඊට හේතුව වෙළෙඳ ස්ථාන සහ බැංකු සම්බන්ධ කරමින් ඔවුන් වෙත ලබා දී ඇති ජාත්‍යන්තර සේවා ජාලය භාවිතා කිරීමට Visa, Mastercard විසින් එම බැංකුවලට ඉඩ කඩ ලබා දී තිබීම වෙනුවෙනි. එය සෑම ගනුදෙනුවකින්ම 1.15% ක් හෝ ඊට වඩා වැඩි අගයකි. 

ඒ අනුව ඉහත ඇමරිකානු බැංකුව අදාළ වෙළෙඳ ස්ථානයෙන් කොමිස් ලෙස අය කළ ඩොලර් 3 න් ඩොලර් 1.15 ක් Visa, Mastercard සේවා ජාල වෙත ගෙවීම් කළ යුතුය. ඉතිරිවන ඩොලර් 1.85 න් තම වියදම් පියවා ගත යුතුය. ඉන් ඉතිරිවන කොටස බැංකුවේ ලාභයට එකතු වනු ඇති. ඉතිරි නොවුනොත් බැංකුව අලාභ ලබනු ඇති.

Visa, Mastercard සේවා ජාල සහ ඔවුන්ගේ සහයක බැංකු කිහිපයකට එරෙහිව ඉදිරියට ආ ඉහත ඇමරිකානු වෙළෙඳ සංගම් 4 ප්‍රකාශ කර සිටියේ මෙන්න මේ කොමිස් මුදල් සහ අන්තර් හුවමාරු ගාස්තු තීරණය කිරීමේ ඒකාධිකාරයක් නිර් මාණය වී ඇති බවත්, ඒ අනුව ඔවුන් නියෝජනය කරන වෙළෙඳ ස්ථාන වලින් අති විශාල මුදල් සම්භාරයක් ගාස්තු ලෙස ගසා කෑමට Visa, Mastercard සේවා ජාල සහ ඔවුන්ගේ සහයක බැංකු වලට ඉඩ සැලසී ඇති බවත්ය.

මෙම කොමිස් සහ ගාස්තු බර තම වෙළෙඳ ස්ථාන වලට දරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එය ඇමරිකානු පුරවැසියා මත පැටවීමට තමන්ට සිදු වී ඇති බවද එම වෙළෙඳ සංගම් හෙළිදරව් කළහ. ඒ අනුව ඔබ ඉහත ඇමරිකානු ඩොලර් 100 ක භාණ්ඩය ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පත ඉදිරිපත් කොට ලබා ගැනීමට ගිය විටකදී වෙළෙඳ ස්ථානයට බැංකුවෙන් ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් 97 ක් පමණක් නිසා ඔවුන්ට එය ඔබට අලෙවි කිරීමට සිදුවන්නේ ඇමරිකානු ඩොලර් 103 කටය. (ලංකාවෙත් අනේ ඉතිං එහෙම තමයි) 

මෙම වෙළෙඳ සංගම් වැඩි දුරටත් පවසා සිටියේ ඔවුන්ට අවශ්‍ය වන්නේ දැනට පවතින කොමිස් තුළ සැඟවුණු අන්තර් හුවමාරු ගාස්තු ක්‍රම වේදය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කළ හැකි, ඇමරිකානු ආර් ථිකය ශක්තිමත් කළ හැකි, ඇමරිකානු පුරවැසියා පීඩනයට පත් නොකරන තිරසාර විසඳුමක් මිස හුදු වන්දි ගෙවීමක් වැනි තාවකාලික සහනයක් නොවන බවයි. 

2005 දී ආරම්භ වූ මේ නඩු කටයුත්ත පසුගිය දිනෙක නිමාවක් දුටු බව විදෙස් මාධ්‍ය මඟින් වාර් තා කොට තිබිණි. ඒ අනුව 2005 සිට 2019 දක්වා වසර 15 ක කාලය තුළ Visa, Mastercard සේවා ජාල හරහා ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් භාරගන්නා ලද සියළු ඇමරිකානු වෙළෙඳ ස්ථාන විසින් එම වසර 15 තුළදී Visa, Mastercard සේවා ජාල වෙත ගෙවීම් කරන ලද ගාස්තු නැවත එම වෙළෙඳ ස්ථාන වෙතම ලබා දීමට Visa, Mastercard සේවා ජාල එකඟත්වය පළ කර තිබේ. ඇමරිකානු වෙළෙඳ ස්ථාන මිලියන 18 ක් වෙත මෙසේ ආපසු ගෙවීම් කිරීමට නියමිත ගාස්තු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 5.54 ක් බව පැවසේ. 

ඒ අනුව මෙම ගාස්තු නැවත ලබා ගැනීමට සුදුසුකම් ලත් ව්‍යාපාර ස්ථාන වෙත දැනටමත් දැනුම් දීම් සිදු කර ඇති අතර ඔවුන්ට අන්තර් ජාලය හරහා මේ කටයුතු පහසුවෙන් ඉටු කර ගැනීම සඳහා වෙනම වෙබ් අඩවියක් සුදානම් කර ඇති බව අපි දුටුවෙමු. එහි කාලය අවසන් වන්නේ 2024 මැයි 31 දිනෙන්ය. 

ඇමරිකානු වෙළෙඳ සංගම් ක්‍රියා කළ ප්‍රශංසනීය ආකාරය පිළිබඳව අපට සතුටු විය හැකිය. හැබැයි ඉතින් ඔය අන්තර් හුවමාරු ගාස්තු අපේ බැංකුත් Visa, Mastercard වලට ගෙව්වා. ඔය කොමිස් අපේ බිස්නස් කට්ටියත් බැංකුවලට ගෙව්වා. කස්ටමස්ල විදියට අපි ඔය දෙකම ගෙව්වා. ඒ වුනාට ඉතිං Visa, Mastercard එක්ක හැප්පෙන්න යන්න අපිට හයියක් නෑනේ. හැප්පෙන්න තියා කට අරින්නවත් එකෙක් නැහැ. ඉතිං ඔන්න ඔහේ ඇමරිකාවේ වෙන දේවල් බලාගෙන ඉමු.

Metal Cards ද Plastic Card ද වඩා හොඳ? 2024 අප්‍රේල් මස මැද භාගයේදී මාධ්‍ය තුළ කතාබහට ලක් වූ "ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට ලෝහ (Metal) ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතාව ඇරඹෙයි" යන මාතෘකාව හා සම්බන්ධ වූ පළ කිරීම් කිහිපයක් මෙම බ්ලොග් පිටුව එළිදැක්වීමට හේතු විය.