2024/05/07

Metal Cards ද Plastic Card ද වඩා හොඳ?

2024 අප්‍රේල් මස මැද භාගයේදී මාධ්‍ය තුළ කතාබහට ලක් වූ "ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට ලෝහ (Metal) ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතාව ඇරඹෙයි" යන මාතෘකාව හා සම්බන්ධ වූ පළ කිරීම් කිහිපයක් මෙම බ්ලොග් පිටුව එළිදැක්වීමට හේතු විය.

2024 මාර් තු 28 දින යාවත්කාලීන කරන ලද Yahoo!Finance වෙබ් අඩවියට අනුව ලෝහ (Metal) ක්‍රෙඩිට් කාඩ්පතක් ඔබගේ මුදල් පසුම්බියේ තිබීමෙන් ප්‍රයෝගික ගැටළු දෙකක් මතු විය හැකිය. 

ඉන් එකක් වන්නේ ගුවන් තොටුපොළක ආරක්ෂක මැදිරි (AirPort Security Checkpoints) තුළින් ඔබ ගමන් කරන විටෙකදී ලෝහ හඳුනා ගැනීමේ සංවේදක (Metal Detector Alarms) නාද වීමට ඉඩකඩක් තිබීමයි. 

අනෙක, එවන් ක්‍රෙඩිට් කාඩ්පතක් කල් ඉකුත් වීමෙන් පසු (Expiry), එය විනාශ කර දැමීම මඳක් අපහසු වීමයි. ප්ලාස්ටික් කාඩ් එකක් නම් ශ්‍රෙඩර් (shredder) යන්ත්‍රයකට ඇතුළු කර විනාශ කර දැමිය හැකිය. නැත්නම් කතුරකින් කැබලිවලට කපා දැමිය හැකිය. 

නමුත් ලෝහ (Metal) ක්‍රෙඩිට් කාඩ්පතකින් නිදහස් වීමට සුදුසුම ක්‍රමය ලෙස අපට යෝජනා කළ හැක්කේ එය ලබාගත් බැංකුවටම යළි භාර දීමයි. ඒ වෙනුවෙන් ඔබට නව කාඩ්පතක් නිකුත් කෙරෙනු ඇත.  

එසේම ලෝහ (Metal) ක්‍රෙඩිට් කාඩ්පත් සමාජයේ ඉහළ පිළිගැනීමක් සහිත ඉලෙක්ට්‍රොනික ගෙවීම් උපකරණයක් බැවින් ඒ වෙනුවෙන් ලෝහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවෙකුට දැරීමට ඇති ගාස්තුද සාපේක්ෂව ඉහළ අගයක් ගැනීමට ඉඩ තිබේ.

භාවිතා කිරීමේදී පැන නඟින ප්‍රායෝගික ගැටළු සහ ඉහළ ගාස්තු කෙසේ වෙතත් ලෝහ (Metal) ක්‍රෙඩිට් කාඩ්පතක් හරහා එහි හිමිකරුට බැංකු හරහා අත්වන මූල්‍ය ප්‍රතිලාභ නම් රාශියක් තිබිය හැකි බව අපට පෙනී ගොස් තිබේ. 

මෙම ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් වීමට හෝ එවන් ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කිරීමට ඔබට අවශ්‍යතාවයක් පවතී නම් ඊට සුදුසුම ක්‍රමය අදාළ බැංකුවේ නිල වෙබ් අඩවියට පිවිසීම බව අපගේ මතයයි. 

මූල්‍ය ප්‍රතිලාභ වලට අමතරව, ප්ලාස්ටික් ක්‍රෙඩිට් කාඩ් පතක් හා සැසඳීමේදී ලෝහ (Metal) ක්‍රෙඩිට් කාඩ්පතක හොඳ පෙනුමක් ඇති බව ඉඳුරාම කිව යුතුය. එසේම එහි කල් පැවැත්ම ද පැහැදිලිවම ප්ලාස්ටික් කාඩ් පතකට වඩා වැඩිය.

ලෝහ ක්‍රෙඩිට් කාඩ්පත් නිෂ්පාදනය කිරීමට දැනට භාවිතා කරන ප්‍රධාන ලෝහ ලෙස රත්‍රන්, රිදී, තඹ සහ සුදු යකඩ (stainless steel) ඇතැම් වෙබ් අඩවි මඟින් ලැයිස්තු ගත කොට ඇත.  

Yahoo!Finance වෙබ් අඩවියට අනුව ලෝහ (Metal) ක්‍රෙඩිට් කාඩ්පත් වල ඉතිහාසය වර් ෂ 1900 තරම් ඈත අතීතයට දිව යයි. ඒ කාලයේ ඇතැම් රටවල ඇතැම් ව්‍යාපාර ස්ථානවලට නිරන්තරයෙන් පැමිණෙන ගනුදෙනුකරුවන් වෙත මේ ලෝහයෙන් තැනුණු කාඩ්පත් Loyalty කාඩ්පත් ස්වරූපයෙන් නිකුත් කර ඇත. 

මෙම ලෝහ (Metal) කාඩ්පත ඉදිරිපත් කිරීම මඟින් එම කාඩ්පත් හිමිකරුවන්ට එම ව්‍යාපාර ස්ථාන හරහා නිශ්චිත කාලයකට, විවධ භාණ්ඩ ණයට ලබා ගැනීමේ හැකියාව හිමි විය. අදාළ කාලය අවසානයේදී කාඩ්පත් හිමිකරුවන් විසින් ඔවුන්ගේ ණය මුදල විවිධ ක්‍රමවේද මඟින් පියවනු ලැබිණි.  

ලෝහ (Metal) කාඩ් වලට වඩා අපට දැන් වඩාත් හුරු ප්ලාස්ටික් කාඩ් භාවිතය ඇරඹෙන්නේ ඉහත ලෝහ කාඩ්පත් හඳුන්වා දීමෙන් වසර පණහකට පමණ පසුව යි. ඒ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් දෙපළක් වන Frank McNamara සහ Ralph Schnieder විසින් Diners Club Card හඳුන්වා දීමත් සමඟය. 

ලෝහ කාඩ් ද හොඳ, ප්ලාස්ටික් කාඩ් ද හොඳ, යන පැනයට අපිට ඇත්තේ කෙටි පිළිතුරකි. එය තීරණය වන්නේ ඔබගේ අවශ්‍යතාවය සහ එම කාඩ්පත් හරහා ඔබට  හිමිවන විවිධ ප්‍රතිලාභ මතයි. 

බැංකුවක පරිඝනක පද්ධතියක් හරහා සම්බන්ධ කළ හැකි සියළුම ප්‍රතිලාභ, ලෝහ කාඩ් හරහා මෙන්ම ප්ලාස්ටික් කාඩ් හරහාද ඔබ වෙත ලබා දීමට බැංකු වලට හැකියාව ඇත. අදාළ ප්‍රතිලාභ ලබා දීමට කාඩ්පත නිමවා ඇත්තේ ප්ලාස්ටික් ද ලෝහ ද කියන එක අදාලම නැත. 

එහෙත් පෙනුමට, ලස්සනට, කල් පැවැත්මට, පසුම්බියෙන් ආඩම්බරයෙන් ඉවතට ගැනීමට වැනි දෑ ට ලෝහ කාඩ්පත් වඩාත් සුදුසු බව පැවසිය යුතුය. 


2014 වසරේ ජනවාරි 5 ප්‍රථම වතාවට වෙබ් අවකාශයට පිවිසීමෙන් අනතුරුව අප 2017 වසරේ ජුලි 21 දින තාවකාලික නිහැඬියාවකට පත් වීමු. ඉන් අනතුරුව නැවත අප ඔබ හමුවට එන්නේ 2024 මැයි 7 දිනදී මෙන්න මේ බ්ලොග් පිටුවත් එක්ක. නොදැනුවත්ම දශකයක් ගත ව ඇත. නැරඹුම් වාර ගණන අනුව නම් ඔබ තවමත් අප සමඟ බව හැඟෙයි. ඉතින් බොහොමත්ම ස්තුතියි.