2024/05/21

සෙල්ෆ් චෙකවුට් වෙනුවට කාට් චෙකවුට් ගේන්නකෝ - කවුරුහරි කමක් නැහැ

 


සෙල්ෆ් චෙකවුට් (Self-Checkout) දැන් දැන් අපේ රටෙත් සමහර සාප්පු සංකීර් ණ වල අත්හදා බලන්න වගේ දාලා තියෙනවා ඔයත් දැකල ඇති. තාම ඒවා වැඩිය ජනප්‍රිය නැහැ. තියෙන්නෙත් ගොඩක්ම කොළඹ පැත්තට වෙන්න තමයි. වැඩිපුර ටුවරිස්ට්ල එන නගරවලනම් ටිකක් එහෙන් මෙහෙන් ඇති. 

සරලව කිව්වොත් ඔයා සෙල්ෆ් චෙකවුට් තියෙන වෙළෙඳ සැලකට ගිහිල්ල ගන්න ඕන බඩු ටික, අර තල්ලු කරං යන පුංචි කරත්තෙට දාගෙන මුදල් ගෙවන්න කවුන්ටරේට ආවම, ඒ කවුන්ටරේ වැඩ කරන කෙනෙක් ගාවට නොගිහිං, ඔයාටම බිල ගෙවන්න පුළුවන් විදිහේ කවුන්ටරයක් තමයි සෙල්ෆ් චෙකවුට් කියල ඔය කියන්නේ.

එතනදී අර ඔයා ගත්ත බඩු ටික එකින් එක අරගෙන ඒවා වෙන වෙනම කවර වලට දාලා, ඒ ඔක්කොටම බිලක් හදල, ඔයාගෙන් සල්ලි අරගෙන, ඉතුරු සල්ලි දෙන්න එතැන කවුරුවත් නැහැ. ඔක්කොම ඔයා තනියම කරගෙන බිලත් ගෙවල යන්න ඕන. (මෙහෙ නම් ඉන්නවා ලඟට වෙලා බලාගෙන. නැතුව ඉතිං බැහැනේ. අපේ අංකල්ලා ඇන්ටිලා වෙලාවකට තනිකර පිස්සු තමයි)  

සෙල්ෆ් චෙකවුට්වලට මෙහෙ අපේ අය වැඩිපුර නොයන්නෙත් ඔය හින්දම තමයි. ෂොප් එකේ ස්ටාෆ් ඉන්න අනිත් පෝලිම් වල ඉන්න අයට වැඩ පෙන්නන ගිහිං ස්කෑන් කරන වැඩේ අතර මඟ ගැහිල හිටියොත් එහෙම මල නෝන්ඩියනෙ. ක්‍රෙඩිට් කාඩ් එකෙන් පේමන්ට් කරන්න ගිහිං මැෂින් එක ස්ටක් වුනොත් තව තොප්පියක්. 

ඔන්න ඔහේ ඊට වඩා හොඳයි දන්න විදිහට පෝලිමේ ඉඳල අර වැඩ කරන ළමයෙක් ලවාම බඩු ටික පැක් කරගෙන නෝමල් එකේ බිලත් ගෙවල ශේප් එකේ ගෙදර යන එක. අනිත් එක්ක මේ ඔය බිල ගෙවන එක අපිම කර ගත්තාය කියල මොකද්ද ඇති වැඩේ. වැඩිම වුණොත් කඩේට හොඳක් වෙයි. පඩි ගෙවන්න ඉන්න ස්ටාෆ් එක අඩු වෙනවනේ. ඒ අතින් බැලුවොත් අපි මොකටද කාගේවත් ජොබ් නැති කරන්නේ නේද. මෙන්න මේ පෝලිමේ ඉමු.

සෙල්ෆ් චෙකවුට් ජනප්‍රිය නොවෙන්න මූලික හේතුව විධියට අපිට පේන්නේ ඔය ගොඩක් තැන්වල සෙල්ෆ් චෙකවුට් එක තියෙන තැන අවුල්. පැහැදිලි භුමි දෝෂයක් තියෙනවා එතන. අලුත් දෙයක්නේ. අපේ කට්ටිය ගිහිං ට්‍රයි කරන්න ආසයි. හැබැයි සෙල්ෆ් චෙකවුට් එකට ගිහිං වැඩේට අත ගැහුවට පස්සේ අනිත් පෝලිම්වල ඉන්න අය හැමෝම හැරි හැරි බලයි කියලත් ලැජ්ජයි.

දැන් මෙහෙම නේ. පෝලිම්වල ඉන්න අයටත් ඕන නැහැ පෝලිමේ තපින්න. එයාලටත් ඕනේ මොනවා හරි විදියකින් බිල ගෙවල ඉක්මනට යන්න. සෙල්ෆ් චෙකවුට් එකේ වැඩේ ඒ ගොල්ලන්ටත් ඉගෙන ගන්න ඕන. හැබැයි බොරුවට සංදර් ශනයක් වෙන්න කැමතිත් නැහැ. 

ඒගොල්ලන්ට ඕන පෝලිමේ සේෆ්ටි පිට ඉඳගෙන සෙල්ෆ් චෙකවුට් එකේ වැඩේ ස්මූත් වෙනවද කියල හරියටම දැන ගන්නයි. පියවරෙන් පියවර වැඩේ වෙන විදිය ඇහිපිය නොහෙළා බලං ඉන්නේ ඒ නිසා. හැබැයි ඉතිං සෙල්ෆ් චෙකවුට් එකේ ඉන්න ඔයාට දැනෙන්නේ වටපිට හැමෝම ඔයාව අමුවෙන් කන්න බලං ඉන්නව වගේ. 

ඉතිං වැඩේ හරියට කෙරුණත් නොකෙරුණත් ආයේ ජීවිතේට ඔයා යයිද සෙල්ෆ් චෙකවුට් එකකින් සෙල්ෆ් චෙකවුට් වෙන්න. හීනෙන් තමයි. 

වෙළෙඳසැල් හිමිකරුගේ පැත්තෙන් බැලුවොත් ඔය ප්‍රශ්නේ විසඳන්න කරන්න තියෙන්නේ හරි සරල දෙයක්. ලොකු බෝඩ් එකක් ගහන්න හොඳ ලස්සන ගෑනු ළමයෙක් ඉන්න වෙළෙඳ දැන්වීමක් එක්ක අනිත් පෝලිම්වල කට්ටියට බල බල ඉන්නයි, සෙල්ෆ් චෙකවුට් එකට එන මහත්තයට හරි නෝනට හරි අනිත් අයට නොපෙනෙන්න තමන්ගේ වැඩේ තමන්ගේ පාඩුවේ හොඳට වෙලාව අරගෙන කරගෙන යන්නයි. 

හැබැයි ඉතිං එත් ස්ටාෆ් එකේ කවුරුහරි ළඟ ඉන්නම් ඕන. සමහර වැඩකටයුතු අපේ කට්ටියට හුරු වෙනකං ටිකක් උගන්නනත් ඕන. උදාහරණයක් කිව්වොත් සල්ලි ගෙවන්න බැහැනේ සෙල්ෆ් චෙකවුට්වල. කාඩ් පේමන්ට් විතරයි. මේවට එන්නේ මැෂින් නෙවෙයි, මිනිස්සු. ඒකත් එක එක මානසික මට්ටම් වලින්. ඉතින් ලඟ කවුරු හරි තියන්නම වෙනව.

දැන් මේ තාම මෙච්චර වෙලා කතා කලේ සෙල්ෆ් චෙකවුට් ගැන. මොකද්ද අර මුලින්ම කියපු කාට් චෙකවුට් කතාව? ඇහුවොත් අදමයි. ඉන්ටනෙට් එකේවත් නැහැ එහෙම වචනයක්. මොකද්ද හැබෑටම.

ඇත්තම කිව්වොත් එහෙම එකක් අපිත් කොහෙවත් දැකල මෙතෙන්ට ඇවිත් කියනව නෙවෙයි. ඉන්ටනෙට් එකේ තියනවද දන්නේ නැහැ. මේක අපිටම හිතුනු අදහසක්. ප්‍රායෝගික ද කියන්න දන්නේ නැහැ. හරි යන්න පුළුවන්. නොයන්න පුළුවන්. හරි යන්න හරි, නොයන්න හරි මුලින් කියන්න ඕන නේ. ඒකයි මේ කියල දාන්නේ.

බැරිද ඔයාට සිස්ටම් එකක් හදන්න වෙළෙඳ සැලකට අපි ගිහින් භාණ්ඩ තෝර තෝර එකින් එක අපි තල්ලු කරං යන පුංචි කරත්තෙට දාගන්නකොටම ස්කෑන් වෙන, ඒ එක්කම බිල හැදෙන, චෙකවුට් වෙන තැනට ඇවිල්ලම මිසක් බිල ගෙවන්න වෙන ක්‍රමයක් නැතිව ඉන්න අපිට, වෙළඳ සැලේ ඕනෑම තැනක ඉඳන් බිල ගෙවල, කිසි ගින්නක් නැතිව බඩු ටිකත් කරේ දාං එතනින් එළියට ඇවිදගෙන යන්න පුළුවන් විදිහට.

ඔය වැඩේට හැම කාට් එකකටම ස්කෑන් මැෂින් එකක් හයි කරන්න ඕන. පොස් මැෂින් එකක් හයි කරන්නත් ඕන. අධික වියදම් වැඩ. එච්චර කරලත් අපේ පොරවල් ඕව දිහා බලන්නේවත් නැතුව ආයේ පරණ පුරුදු පෝලිමට ආවොත් එහෙම ඔක්කොම ඉන්වෙස්ට්මන්ට් වතුරෙ.

හොඳට කල්පනා කළොත් මේකට ඇප් එකක් ඩිවලොප් කරන්නත් පුළුවන්. හැබැයි හැම කඩේට ම එක එක ඇප් හැදුවොත් ඒකත් වදයක්. කාට් චෙකවුට් කියන සංකල්පය අරගෙන හැම කඩේක දීම පොදුවේ භාවිතා කරන්න පුළුවන් ඇප් එකක් හැදුවනම් හොඳයි ඌබර්, පික්මී වගේ. කස්ටමර්වයි, මර් චන්ට්වයි මුනගස්සන කොමන් ප්ලැට්ෆෝම් එකක්. 

කස්ටමර් මුලින්ම කරන්න ඕන වෙළෙඳ සැල ඇතුලෙදි කාට් එකට දාන එක එක භාණ්ඩයක් ගානේ ෆෝන් එකෙන් ස්කෑන් කරන එක. බඩු ලිස්ට් එක හැදිලා ඉවරවුනහම මර් චන්ට්ගේ ඩේටාබේස් එකත් එක්ක කනෙක්ට් වෙලා බිල් එක හැදෙන්න ඕන. ඊට පස්සේ පේමන්ට් එක ෆෝන් එකෙන්මයි. 

මුල් අවුරුදු දෙක තුන ස්ටාෆ් එක යොමු කරන්න වේවි බිල් එකත් එක්ක කස්ටමර් ගේ  කාට් එකේ තියෙන බඩු ටික චෙක් කරන්න. හුරු වුණායින් පස්සේ නම් ඔය මොකුත් ඕන නැහැ. 

ඕවා මේ නතර වෙලා තියෙන්නේ අපේ රටේ හැමෝම අතේ ස්මාට්ෆෝන් නැති නිසයි. ස්මාට් ෆෝන් නිකං වගේ දෙන්න පටන් ගත්ත දවසට ඔය ඔක්කොම ප්‍රශ්න ඉවරයි.   

මේ හෙමි හෙමිහිට ගතවෙන්නේ චෙකවුට්, සෙල්ෆ් චෙකවුට් දෙකේම යුගාන්තය ද කියලත් හිතෙනව වෙලාවකට.

ක්‍රෙඩිට් කාඩ් ණය බරින් නිදහස් වෙන්න නම් මොනවද ඇත්තටම කරන්න ඕන  පසුගිය මාස කිහිපයේම මාධ්‍ය තුළ නිතර දැකපු මාතෘකාවක් තමයි ලෝකයේ බොහෝ පිරිසක් ක්‍රෙඩිට් කාඩ්පත් ණය බරින් පීඩා විඳිනවා කියන එක. ඉතින් කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියන එක ගැන ගොඩක් අය විවිධ අදහස් පළ කරල තිවුණා...